රනිල්ගේ රීට් පෙත්සම සළකා බැලීමට දිනයක්

දෙසැ 09, 2021

    දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගොනුකර තිබෙන රීට් පෙත්සම සලකා බැලීම සදහා ජනවාරි මස 28වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. 

    නිශ්ශංක බන්දුල කරුණාරත්න, දේවිකා අබේරත්න සහ ඩී. එම්. සමරකෝන් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

    එහිදී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා කළ ඉල්ලීමක් පිළිගත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජනවාරි මස 28 වැනිදා කැඳවීමට නියම කළේය.

    පෙත්සම්කාර කාදිනල් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටින්නේ ඉකුත් යහපාලන රජය සමයේ ස්ථාපිත කළ දූෂණ මර්දන ලේකම් කාර්යාලය හා සම්බන්ධ කටයුතු කීපයකට තමන් වගකිව යුතු බවට දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව නිර්දේශ කිහිපයක් නිකුත් කර ඇති බවයි.

    තමා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ දූෂණ මර්දන ලේකම් කාර්යාලය ක්‍රියාත්මක වූයේ තමන් යටතේ නොවන බවත් එහි කටයුතු වලට තමන් මැදිහත් නොවූ බවත් පෙත්සම්කාර රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    දූෂණ මර්දන ලේකම් කාර්යාලය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් මත ස්ථාපිත කෙරුණු අතර එය රජයේ පිළිගත් මූල්‍ය රෙගුලාසි වලට අනුකූලව පාලනය කෙරුණු බව ද ඔහු පවසයි.

    දූෂණ මර්දන ලේකම් කාර්යාලය ඉදිරිපත් කළ පැමිණිලි මත විවිධ පුද්ගලයින්ට නඩු පැවරුම් සිදු කරනු ලැබුවේ නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම වැනි පිළිගත් රජයේ ආයතන විසින් බව පෙන්වා දෙන රනිල් වික්‍රමසිංහ මහතා එම කටයුතුවලට තමන් කිසිදු ආකාරයකින් මැදිහත්වීම් නොකළ බවත් පවසයි.

    එසේ තිබියදී දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසම තමන්ගෙන් කිසිදු කරුණු විමසීමකින් තොරව නීතියට පටහැනි ආකාරයට තමන්ට එරෙහිව නිර්දේශ කිහිපයක් නිකුත් කර ඇති බව පවසන රනිල් වික්‍රමසිංහ මහතා එම නිර්දේශ නිකුත් කිරීමට පෙර කොමිසම විසින් තමන්ට සාධාරණ විභාගයක් ලබා නුදුන් බවද චෝදනා කරයි.

    එබැවින් අදාළ නිර්දේශය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින රනිල් වික්‍රමසිංහ මහතා, මෙම පෙත්සම් විභාගය අවසන් වන තුරු අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද ඉල්ලා සිටියි.

    Latest News