සමරිසි ප්‍රජාව ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර

දෙසැ 08, 2021

    පොලිසිය විසින් සමරිසි ප්‍රජාවට එරෙහිව සිදු කරන හිරිහැර හා අපහාස වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබාදුන්නා.

    පෙත්සම මූලික වශයෙන් සලකා බැලීමෙන් අනතුරුව බැලූ බැල්මටම එහි නඩු නිමිත්තක් පවතින බව තීන්දු කළ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාගයට ගැනීම සඳහා වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන බව ද නියෝග කළා.

    ඒ අනුව මෙම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා තිබේනම් ඒවා ඉදිරිපත් කරන ලෙස එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි පොලිස්පතිවරයා ඇතුළු පිරිසට අධිකරණය නියෝග කළා.

    ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, තමරා ඇන්ඩ්‍රියා, අනුෂා ශ්‍යාමි ඩේවිඩ්, ගෞරි පොන්නයියා ඇතුළු සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින් පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණා.

    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න , මනෝ විද්‍යා උපදේශිකා අමා දිසානායක සහ නීතිපති නම් කර තිබෙනවා.

    2018 පොලිස් වාර්තා අනුව සමලිංගිකයන් 48 දෙනෙකුට එරෙහිව අපරාධ නඩු පවරා ඇති බවත් , 2016 දී හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් සිදු කළ සමීක්ෂණයේදී කිසිදු හේතුවක් නොමැතිව පොලිසීය විසින් සමරිසියන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට විවිධ හිරිහැර සිදු කර ඇති අතර පොලිස් අත්අඩංගුවේදී ඔවුන් දූෂණයට පවා ලක් ව ඇතැයි ද පෙත්සම්කරුවන් පවසනවා.

    සමරිසි ප්‍රජාව පිළිබදව මහජනතාව නොදැනුවත් වීම සහ වැරදි සහගත සමාජ මතවාදයන් මීට ප්‍රධාන හේතුව වී ඇතැයි ඔවූන් සිය පෙත්සමින් කියා සිටියා.

    මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාවගේ මූලික අයිතිවාසිකම් කඩ වීමක් සිදු වන බැවින් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද , සමරිසි පිරිස්වලට සිදු වන හිරිහැර වළක්වාලන රිට් ආඥාවක් පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමින් ඉල්ලා සිටිති.

    Latest News