මේ වනවිට යාන් ඔය ජලාශයේ සිට පදවිය දක්වා කිලෝමීටර් 18ක් වම් ඉවුර ඉදිකරනු ලබන ඇළ මාර්ගයෙහි වැඩකටයුතු අගෝස්තු මස වනවිට නිම කළ හැකි බවත්, එමඟින් පදවිය වැව හරහා යාය7 සිට 13 දක්වා කුඹුරු සඳහා ජලය ලබා දිය හැකි බව හෙතෙම අමාත්‍යවරයාට දැන්වීය.
එමඟින් මහ කන්නයේ පමණක් අස්වැද්දූ කුඹුරු අක්කර 5000ක් නැවත යල කන්නයේදී වගා කළ හැකි බව එහිදී පැවසීය. ඒ සමඟම දකුණු ඉවුර ඇළ මාර්ගය යටතේ කිලෝමීටර් 12.5ක දුරක් ඉදි කරනු ලබන ත්‍රිකුණාමලය මයිලවැව දක්වා ඇළ මාර්ගය ද 80%ක් මේවනවිට වැඩ නිම කළ ඇති බවත්, එමඟින් මහආලන්කුලම හා නීලපංචන්කුලම වැව් මඟින් කුඹුරු අක්කර 4000ක් යල කන්නයේදී වගා කළ හැකි බව ඒ මහතා ප්‍රකාශ කළේය.
මේ සමඟම පුල්මුඩේ යාන් ඔය අමුණු මඟින් මහ කන්නයට පමණක් සිමා වූ කුඹුරු අක්කර 1500ක් පමණ වගා කළ හැකි බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
යාන් ඔය ජලාශයට යටවූ ගම්මාන වෙනුවෙන් අලුතෙන් කුඹුරු හෙක්ටයාර් 300ක් අස්වද්දන බවත්,මේ යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉස්වැව ඕමාරගම ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කජුවත්ත කොහොඹගස්වැව හා මල්තෝරව යන ප්‍රදේශවල ගොවීන් වෙනුවෙන් මෙම කුඹුරු ලබා දීමේදී පැන නැගී ඇති ගැටළු තමා මැදිහත්ව පරිසර අධිකාරිය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ විසඳූ බව අමාත්‍ය පී.හැරිසන් මහතා මෙහිදී පැවසීය.
යාන් ඔය වර්තමාන ප්‍රගතිය සොයා බැලීම සඳහා අමාත්‍යවරයා කළ සංචාරයේදී වම් ඉවුර හා දකුණු ඉවුර ඇළවේලි ඉදිකිරීම් කටයුතු කඩිනම් කර ජනතාවට සෙත සලසන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මේවනවිට ජලාශය 100% ක් ජලයෙන් පිරී ඇති බවත්, ජලාශය තුළ ජලය අක්කර අඩි 138,000ක් පවතින බව නේවාසික ඉංජිනේරු ප්‍රගීත් වැලිවිට මහතා මෙහි දී පැවසීය.