එක්ස්පස් පර්ල් ගිනිගැනීමට එරෙහි පෙත්සම සළකා බැලීමට දිනයක්

නොවැ 09, 2021

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පාරිසරික හානිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් එම අනතුර හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ධීවරයන්ට වන්දි ගෙවන ලෙස ඉල්ලමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 01 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

    කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්, සරත් ඉද්දමල්ගොඩ පියතුමා, පරිසරවේදනීයක වන ආචාර්ය අජන්තා පෙරේරා ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් තිබිණ.

    මෙම පෙත්සම අද සලකා බැලීම සඳහා එල්. ටී. බී.දෙහිදෙණිය, ප්‍රීති පද්මන් සූරසේන සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණ.

    එහිදී වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු එය සලකා බැලීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන්නැයි ඉල්ලා සිටියේය.

    එම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු අධිකරනය හමුවේ පෙන්වා දුන්නේ මෙම පෙත්සම් සලකා බැලීම මීට පෙර තුන් වතාවක්ම කල් ගොස් ඇතැයි සඳහන් කළ අතර අදාළ නෞකාවෙන් සිදු වන පාරිසරික හානිය දිනෙන් දිනෙන් දින උග්‍ර වෙමින් පවතින බවත් සඳහන් කළේය.

    මේ හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල වෙසෙන ධීවර ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින බවද එම නීතිඥවරු සඳහන් කළේය. පෙත්සම සලකා බැලීම සඳහා කඩිනම් දිනයක් නියම කරන ලෙසයි පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    එම ඉල්ලීම පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා දෙසැම්බර් මස 01 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.

    Latest News