'එක්ස්ප්‍රස් පර්ල්' සිද්ධියේ පැමිණිල්ල අගෝස්තු 6 කැඳවීමට නියෝග

ජූලි 15, 2021

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි කපිතාන්වරයා ඇතුළු සැකකරුවන් පස් දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අගෝස්තු මස 6 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

    කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ මෙම පැමිණිල්ල අද කැදවනු ලැබීය.

    එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

    කෙසේ වෙතත් මෙම විමර්ශනවලට අදාළව අද දින අධිකරණයෙන් නියෝග කිසිවක් අපේක්ෂා නොකරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දන්වා සිටියේය.

    ඒ අනූව අදාළ පැමිණිල්ල අගෝස්තු මස 6 වැනිදා කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින එම විමර්ශනවල ප්‍රගතිය වාර්ථා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

    මෙම නඩුවේ සැකකරුවන් ලෙස ගිනි ගැනීමට ලක්වූ නෞකාවේ කපිතාන්වරයා වශයෙන් කටයුතු කළ රුසියානු ජාතික ටියුට් කාලෝ විටැලි, දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගමේ සභාපති අර්ජුන හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන අමින්ද හෙට්ටිආරච්චි, පණ්ඩුක වීරසේකර, සංජීව සමරනායක යන අය ද අද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

    ඔවුන්ට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද විනිසුරුවරයා විසින් නියෝග කළේය.

    Latest News