දේශපාලන වේදිකාවේ කිරිපිටි රංඟනයක්: ඇමති රාජිත

පෙබ 19, 2019

    වේදිකාවල කෑගසන දේශපාලනඥයින් බහුජාතික සමාගම් වලට එරෙහිව ගත් ක්‍රියාමාර්ග රටට හෙළි කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉල්ලා සිටියි.

    කිරිපිටි සම්බන්ධයෙන් රට තුල මතුව ඇති ගැටලුව පිළිබදව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ විද්වතුන්ගේ සහභාගිත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (19) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    milkpowder1 px 900 19 02 19

    සෞඛ්‍ය අමාත්‍යවරයා - “කිරිපිටි දේශපාලන විෂයක් නොවෙයි. පෝෂණය පිළිබද ප්‍රශ්ණයක්. රටට කිරිපිටි ආනයනය කරනවා ද, නැද්ද යන්න පිළිබදව වෙනම තීන්දුවක් ගත යුතුයි. මම ලෝක සෞඛ්‍ය සංවිධානයේ දී ඇමරිකා එක්සත් ජනපදය සමග වාද කරලා මව්කිරි ලබාදීමේ යෝජනාව සම්මත කර ගත්තා. පැණිබීම සදහා බදු පැනවීම තුලින් සීනි රහිත බීම වර්ග වෙළෙදපොලට පැමිණියා. ඖෂධ මිල පාලනය කළා. දුම්කොළ සදහා බදු පැනවූවා. මම මෙවැනි ක්‍රියාමාර්ග ගනු ලැබුවේ විද්‍යාත්මකව හදාරා ගත් තින්දු තීරණ මතයි. මම කටින් කයිවාරු ගහලා නැහැ. මම වේදිකාවල සහ මාධ්‍ය හමුවල කයිවාරු ගහන දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටිනවා බහුජාතික සමාගම් වලට එරෙහිව ගත් ක්‍රියාමාර්ග රටට හෙළි කරන්න කියලා. කිරිපිටි සම්බන්ධයෙන් ද මාධ්‍ය හමු සහ වේදිකාවල කෑගහලා වැඩක් නැහැ. කිරි යනු පෝෂණයට අදාල කරුණක්. ඇතැම් අය ප්‍රකාශ කරනවා කිරි නොමැතිව ඉන්න පුළුවන් කියලා. පොහොසතුන්ට පුළුවන් වුනත්, ගමේ දුප්පත් මිනිහට එය අමාරුයි යැයි" ඔහු පැවසුවේය.

    මාධ්‍යවේදීන් වර්තමාන තත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියේය.

    සෞඛ්‍ය අමාත්‍යවරයා "ජනාධිපතිවරයාට කිරිපිටි ප්‍රශ්නය පිළිබදව අමාත්‍ය මණ්ඩලයේ දී සාකච්ඡා කරන්න තිබුනා. එතුමා එලෙස කටයුතු කළේ නැහැ. කිරිපිටි ප්‍රශ්නය දේශපාලන වේදිකාවල දී භාවිත කරන්න එපා. ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් තමයි අපි මෙම මාධ්‍ය හමුව පැවැත් වූයේ. ජනතාව දැනුවත් කිරීමේ වගකීම ඇත්තේ මාධ්‍යයටයි."

    milkpowder2 px 900 19 02 19

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා - "කිරිපිටිවල ප්‍රමිතිය ප්‍රමුඛතම ප්‍රශ්නයක්. ප්‍රමිතිය හරිද, නැද්ද කියා පරීක්ෂා කර ගත යුතුයි. ඒ පිළිබදව සමාජ කථිකාවක් ඇති වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ දියර කිරි කර්මාන්තය දියුණුවීම පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය ද කැමැතියි. නමුත් එම කර්මාන්තය දියුණු වන තුරු එහි හිඩැස පුරවන්නේ ආනයනික කිරිපිටි මගින්. කිරිපිටි වලින් දියර කිරි සදහා මාරුවීමට හැකි නම් ඉතා වැදගත්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපි කිරිපිටි සමාගම් වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. මතුව ඇති ගැටලුව පිළිබදව ජනතාව බියට පත්වෙලා. ඒ පිළිබදව ජනතාව දැනුවත් කළ යුතුයි. ළදරුවන්ට කිරිපිටි ලබාදීම වැළැක්වීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. ළදරුවන්ට මව්කිරි ලබාදීම සියයට 100 ක්ම සිදුවන එකම රට ශ්‍රී ලංකාවයි. ළදරු කිරිපිටි සම්බන්ධයෙන් සෘජුව හෝ වක්‍ර ව ගනු ලබන ප්‍රචාරණ නතර කර තිබෙනවා. ඒ පිළිබදව ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් දැඩි අවධානය යොමු කර තිබෙනවා. ආනයනික කිරිපිටිවල ප්‍රමිතිය පිළිබදව විද්‍යාත්මක පරීක්ෂණ රැසක් සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කර තිබෙනවා. මේ පිළිබදව ජනාධිපතිවරයා ද දැනුවත් කිරීමට නියමිතයි. තව ද පණුවන් සහිත ටින් මාළු කන්ටේනර් 36 ක් අපි වරායේ දී නතර කර යළි ප්‍රතිඅපනයනය කළා. ඊට සෞඛ්‍ය අමාත්‍යවරයා සෘජු නායකත්වය ලබාදුන්නා. කොතරම් බලපෑම් ආවත් අපි එම පණුවන් සහිත ටින් මාළු වෙළෙදපොලට නිකුත් කිරිමට අවස්ථාව ලබාදුන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය ජනාවගේ ආහාරවල සුරක්ෂිතතාවය පිළිබදව වගකිව යුතුයි."

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ආහාර පාලන) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් මහතා - "ආනයනය කරන ආහාර සහ වෙළෙදපොලේ පවතින ආහාර මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු බව පරික්ෂා කරන්නේ මගේ ඒකකය මගින්. ජාත්‍යන්තරව අලෙවි වන කිරිපිටිවල ප්‍රමිතිය ද අපි පරීක්ෂා කර බලනවා. ඒ සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝක කෘෂිකර්ම සංවිධානය ඒකාබද්ධව ආයතනයක් ස්ථාපිත කර තිබෙනවා. කිරිපිටි සදහා ජාත්‍යන්තර ප්‍රමිතියක් සකස් කර ඇති අතර, එය 2018 වසර අවසන් වන විට යළි සංශෝධනය කරනු ලැබුවා. ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන කිරිපිටිවල SLS 731 ප්‍රමිතියෙන් යුක්ත විය යුතුයි. එය ආහාර පනත යටතේ නීතියක් බවට පත්කර තිබෙනවා. ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටි සාම්පල වරායේ දී පරීක්ෂා කරනවා. තව ද කිරිපිටි අපනයනය කරන රටින් සෞඛ්‍ය සහතිකයක් ලබාදෙනවා. එහිදී එය අපේ රටේ ප්‍රමිතියට අනුකූල ද, නැද්ද යන්න පිළිබදවත් සදහන් කරනවා. වරායට පැමිණෙන කිරිපිටි සාම්පල රසායනාගාර මගින්, වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින්, ජාතික සෞඛ්‍ය විද්‍යායතනය මගින්, පරමාණුක බලශක්ති අධිකාරිය මගින් සහ රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂාවට ලක් කරනවා. ඒ සියලු පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ කිරිපිටිවල වෙනත් ද්‍රව්‍ය අඩංගු නොවන බවයි. කිරිපිටි වල කිරිමේදය පමණක් අඩංගු වී ඇති බව පරික්ෂණ වලින් ඔප්පු වී තිබෙනවා. ලංකාවේ ප්‍රමිතියට අනුව පරීක්ෂා කිරීමේ දී ද ගැටලු මතු වී නැහැ. පැතිරී යන කටකතාවල විද්‍යාත්මක පදනමක් නැහැ."

    රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දීපිකා සෙනෙවිරත්න මහත්මිය - "සෑම කිරිපිටි වර්ගයක් ආනයනය කිරීමේ දී අපි පරීක්ෂා කරනවා. ඒ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ රෙගුලාසි වලට අනුවයි. කිරි මේදය හදුනා ගැනීමට විශේෂ ක්‍රමවේදයක් හදුන්වා දී තිබෙනවා. සෑම කිරිපිටි පැකට්ටුවකම කිරි මේදය 24 සිට 32 දක්වා වූ පරාසයක තිබිය යුතුයි. වෙනත් මේද එකතු කළ හොත් එහි අගය වෙනස් වෙනවා. 2007 වසරේ දී ද නවසීලන්තයෙන් ආනයනය කරන ලද කිරිපිටිවල එළවලු මේද, සත්ත්ව මේද තිබෙන බවට කළ ප්‍රකාශ හේතුවෙන් 2009 වසරේ දී රෙගුලාසි වෙනස් කළා. අපි විසින් සිදු කළ පරික්ෂා කිරීම් වල දී කිරිපිටි වල කිරිමේදය අඩු වී තිබුනේ නැහැ. මේ වනවිට කිරිපිටිවල වෙනත් මේදයන් අඩංගු වී නොමැති බව පරික්ෂණ වලින් සනාථ වී තිබෙනවා."

    ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ දයාණි යාපා මහත්මිය "කිරිපිටි සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව හේතුවෙන් කිරිපිටි හොදයි ද, නැද්ද යන්න පාරිභෝගිකයින්ට ගැටළුවක්. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය SLS 731 යටතේ කිරි මේදය සහ අනෙකුත් මේද වර්ග තිබෙනවා ද යන්න පිළිබදව පරික්ෂා කරනවා. 2007 වසරේ දී මතු වූ ගැටලුවක් හේතුවෙන් කිරිපිටි වල ප්‍රමිතිය පිළිබදව සංශෝධන සකස් කළා. සත්ත්ව මේද තිබෙනවා ද යන්න පිළිබදව කරුණු 03 ක් යටතේ පරික්ෂා කර තිබෙනවා. වරායට පැමිණෙන ආහාර භාණ්ඩ 50 ක් අපි පරික්ෂාවට ලක් කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයට අමතරව ප්‍රමිති ආයතනය ද පරීක්ෂා කිරීම නිසා එම ආහාර පරිභෝජනයට සුදුසු ද නැද්ද යන්න පිළිබදව සොයා බලා තිබෙනවා. කිරිපිටි සාම්පල පරික්ෂා කිරීමෙන් පසු වෙළෙදපොලට නිකුත් කිරිම සදහා එහි වාර්තා ශ්‍රී ලංකා රේගුවට ලබාදෙනවා. ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටි පරික්ෂාවට ලක් නොකරන බවට සිදු කරන ප්‍රකාශ අසත්‍යයයි. දැනට ශ්‍රී ලංකාවේ ඇති කිරිපිටි ප්‍රමිතියෙන් අනුකූල වෙනවා."

    ශ්‍රී ලංකා පෝෂණවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය - "කිරි අත්‍යාවශ්‍ය ආහාරයක්. ළදරුවන්ට වසරකට පසු කිරි ආහාර ලබාදිය යුතුයි. එතෙක් මව්කිරි ලබාදීම ඉතා වැදගත්. කිරි සහ කිරි ආහාර ඉන් පසු ලබාදෙන්නේ දරුවාගේ වර්ධනයටයි. එහි දී කිරිපිටි එක් ආදේශකයක් වනවා. මන්දපෝෂණය තුරන් කිරීම සදහා කිරි ආහාර ඉතා වැදගත්. අපගේ ප්‍රෝටින අවශ්‍යතාවයෙන් සියයට 50 ක් ලබාගන්නේ බත් මගින්. කිරි, මස්, මාළු වල අධික මිල හේතුවෙන් එවැනි ආහාර ලබාගන්නේ අවම වශයෙන්. නමුත් අවුරුදු 10-19 වයසේ දරුවන්ට ප්‍රෝටීන අවශ්‍යතාවය සදහා මෙම ආහාර ලබාදිය යුතුයි. නැතිනම් දරුවන් නිසි පරිදි උස යන්නේ නැහැ. අධි බර තත්ත්වයක් ඇති වෙනවා. එහිදී පෝෂණ ගැටලු ඇතිවන බැවින් කිරි ආහාර ඉතා වැදගත්. වර්තමානයේ ආහාර රටාවේ වෙනස්වීමත් සමග ක්ෂණික ආහාර වලට අපි හුරු වී සිටිනවා. දියර කිරි භාවිත කිරීමට හැකිනම් මෙම ගැටලුව ඇති වන්නේ නැහැ. එම නිසා කිරි, යෝගට්, අපි ආහාරයට ගන්නවා."

     

    Last modified on අඟහරුවාදා, 19 පෙබරවාරි 2019 18:00

    Latest News