මහ බැංකු අධිපතිවරයාට විශ්‍රාම වැටුපක් ප්‍රදානය කිරීමට එරෙහිව පෙත්සමක්

ඔක් 01, 2021

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විශ්‍රාම වැටුපක් ගෙවීමට එම බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය බලරහිත කරන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් වුණා.

    එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය දේශපාලන බලපෑම්වලට නතු නොවී ස්වාධීනව කටයුතු කළ යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසද එම පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

    ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ ලේකම් ආරියවංශ දිසානායක මහතා විසින් පෙත්සම ඉදිරිපත් කළා.

    එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, එහි සාමාජිකයින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර, නීතිපති ඇතුළු නවදෙනකු නම් කර තිබෙනවා.

    පෙත්සම්කරු සඳහන් කර සිටින්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය යනු අධිකරණය මෙන් ස්වාධීනව කටයුතු කළ යුතු ආයතනයක් බවයි.

    ඊට නියෝග නිකුත් කිරීමට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු කිසිදු දේශපාලනඥයකුට බලයක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරු, එවැනි නියෝග පිළිපැදීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය නිත්‍යානුකූලව බැඳී නොමැති බවත් සඳහන් කළා.

    එමෙන්ම වත්මන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විශ්‍රාම වැටුපක් ගෙවීමට එම මුදල් මණ්ඩලය විසින් තීන්දුවක් ගෙන ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු එය මුළුමනින්ම නීතියට පටහැනි බවයි කියා සිටින්නේ.

    ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට බලපෑම්වලට නතු නොවී ස්වාධීනව කටයුතු කරන ලෙස රිට් ආඥාවක් නිකුත් කරන මෙන් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු කිසිදු දේශපාලකයකු විසින් දෙනු ලබන නියෝග ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය බැඳී නොමැති බවට නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් අයැද තිබෙනවා

    එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විශ්‍රාම වැටුපක් ගෙවීමට එහි මුදල් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙසත් එවැනි විශ්‍රාම වැටුපක් ප්‍රදානය කිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයින්ට තිබෙන නීතිමය බලය කුමක්දැයි පැහැදිලි කරන මෙන් නියෝගයක් නිකුත් කළ ලෙසත් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

    Latest News