පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් පූජිත් ජයසුන්දරට සහ හේමසිරි ප්‍රනාන්දුට අධිචෝදනා බාරදෙයි

ඔක් 01, 2021

    පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද චෝදනා පත්‍ර භාර දූන්නා

    ඒ, පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා මාර්ග නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර මිනී මැරීම සම්බන්ධයෙනි.

    මෙම නඩු අද නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණයේ පෙනීසිටි මෙම විත්තිකරුවන් වෙත නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර භාර දීම සිදු කළා.

    මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙහි එක් එක් විත්තිකරුට එරෙහිව මුලින්ම චෝදනා 864 බැගින් ගොනුකර තිබූ බව සඳහන් කළා.

    එහෙත් එම චෝදනා සංශෝධනය කර වර්තමානයේ එක් එක් විත්තිකරු වෙනුවෙන් චෝදනා 855 ක් බැගින් ගොනු කර ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැමිණිල්ලේ සාක්ෂි කරුවන් වශයෙන් පුද්ගලයින් 1215 දෙනෙකු නම් කර තිබෙන බවත් සඳහන් කළා.

    මෙම සංශෝධනය පිළිබඳව නීතිපතිවරයා විසින් ලිඛිතව අගවිනිසුරුවරයා දැනුවත් කර ඇති බවත් චෝදනා පත්‍ර සංශෝධනය කර ඉදිරියට පවත්වාගෙන යාමට අගවිනිසුරුවරයා අනුමැතිය පළ කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.

    ඒ අනුව නඩු විභාගය සඳහා දිනයක් නියම කරන ලෙසත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයෙන් ඉල්ලීම් කළා.

    මෙහිදි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයින්ට භාර දී තිබෙන චෝදනා පත්‍ර අධ්‍යයනය කර විත්තියේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා තමන්ට දිනයක් ලබා දෙන ලෙසයි.

    ඒ අනුව නඩුවේ විභාගය නොවැම්බර් මස 22 වැනි දා ආරම්භ කරන බව නියෝග කළ විනිසුරු මඩුල්ල එදින සිට නොවැම්බර් මස 29 දක්වා දිනපතා නඩු විභාගය පැවැත්වෙන බව ද නියෝග කළා.

    2019 වසරේ අප්‍රේල් මස 07 වන දා සහ එම මස 21 වනදා අතර කාලසීමාව තුළ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු මෙම සංවිධානයේ සාමාජිකයින් පිරිසක් කොළඹ නගරයෙහි පිහිටි කිතුනු දේවස්ථාන සහ හෝටල් ආශ්‍රිතව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට ප්‍රමාණවත් විශ්වාස කළ හැකි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර පුද්ගලයින් 275 දෙනෙකුගේ මරණය සිදුකිරීම සහ 500 ආසන්න පිරිසකට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව චෝදනා 855 ක් බැගින් එල්ල කරමින් මෙම නඩු දෙක ගොනු කර තිබෙනවා.

    මෙම නඩුකරය ජාතික වැදගත්කමක් සහිත විශේෂ නඩුකරයක් සේ සලකා එය ජූරි සභාවක් නොමැති ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නියම කරන ලෙස නීතිපතිවරයා විසින් කරනු ලැබූ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවයි අගවිනිසුරුවරයා විසින් ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව විභාගයට ගැනීමට නියම කර තිබෙන්නේ.

    Latest News