මට්ටක්කුලිය ඝාතන සිද්ධියේ හමුදා ලුතිනන් කර්නල් ඇතුළු සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

ඔක් 01, 2021

    මට්ටක්කුලිය ප්‍රදේශයේ සුප්‍රසිද්ධ එල්ලේ ක්‍රීඩකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් වරයා ඇතුළු සැකකරුවන් ලබන 15 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

    මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අභයවික්‍රම මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විමර්ශන සිදුකරන මට්ටක්කුලිය පොලිසිය විසින් පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළා.

    සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් අතුරින් බොහෝ දෙනෙකු යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් බවත් ඔවුන් මේ වන විට බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටින බවත් සඳහන් කළා.

    එම බන්ධනාගාරය තුළ එල්ටීටීඊ සැකකරුවන් ද රඳවා සිටින හෙයින් සැකකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසද විත්තියේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීම් කළා.

    එහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියේ එම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නේ බුද්ධි අංශ රාජකාරියක් ඉෂ්ට කිරීමට ගොස් නොවන බවත් තමා ඉදිරියේ පවතින්නේ පුද්ගලයකු ඝාතනය කිරීමට සම්බන්ධ අපරාධමය නඩුවක් බව සඳහන් කළා.

    ඒ අනුව සැකකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස තමාට නියෝගයක් නිකුත් කළ නොහැකි බව කී මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට යම් තර්ජනයක් තිබේ නම් ඊට අවශ්‍ය ආරක්ෂාව සැලසීමට බන්ධනාගාර අධිකාරිවරයාට කිසිදු බාධාවක් නොමැති බවත් සඳහන් කර සිටියා.

    අනතුරුව සැකකරුවන් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම වුණා.

    එම සිද්ධියේ සැකකරුවන් වශයෙන් මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් තානුජ සමන්ත තිලකරත්න, මියගිය එල්ලේ ක්‍රීඩකයාගේ බිරිඳ වන මට්ටක්කුලිය හිටපු ග්‍රාම නිලධාරිනිය, මට්ටක්කුලිය යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ බුද්ධි අංශ යුද හමුදා නිලධාරීන් ඇතුළු පහළොස් දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත තිබෙනවා.

    Latest News