මන්නාරම ප්‍රා.සභාවට සභාපතිවරයෙකු පත් කිරීමට අභියාචනාධිකරණයෙන් තහනමක්

සැප් 29, 2021

    පුරප්පාඩුව පවතින මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සඳහා නව සභාපතිවරයෙකු නම් කරමින් ලබන 27 වැනිදා තෙක් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් වළකින ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් උතුරු පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස්වරයා වෙත නියෝගයක් නිකුත් කළේය. 

    එම පළාත් සභාවේ හිටපු සභාපති ෂාහුල් හමීඩ් මොහොමඩ් මුජාහීර් විසින් ගොනුකළ රිට් පෙත්සමක් සළකා බැලීමෙන් පසුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය කරනු ලැබීය.

    මෙම නියෝගය ලබන 27වැනිදා දක්වා බලපැවැත්වෙන අතර එදින වගඋත්තරකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසද විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශ්වයට නියම කළේය. 

    ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී හිටපු අමාත්‍ය රිශාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් අකිල ඉලංගෙයි මක්කල් කොංග්‍රසය නැමැති පක්ෂයෙන් එම ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ හිටපු ප්‍රාදේශීය සභා සභාපති ෂාහුල් හමීඩ් මොහොමඩ් මුජාහීර් විසින් පෙත්සම ඉදිරිපත් කර තිබිණ.

    පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එන්.එම්.සහීඩ් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ විනය කඩ කළේ යැයි, චෝදනා කරමින් වගඋත්තරකරුවන් විසින් අධිකරණ විනිශ්චයකාරවරයෙකුගෙන් යුත් කමිටුවක් මගින් තම සේවාදායකයාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වු බවයි.

    මෙම විනය පරීක්ෂණයේදී තම සේවාදායකයාට නීතිඥවරයෙකු මාර්ගයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා සාධාරණ අවස්ථාවක් ලබාදීමට පරීක්ෂණ නිලධාරියා කටයුතු නොකළ බවට චෝදනා කළ නීතිඥවරයා මේ තුළින් තම සේවාදායකයාට දැඩි අගතියක් සිදු වූ බවද සඳහන් කළේය.

    මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ මනෝහර ජයසිංහ මහතා අධිකරණය හමුවේ කියා සිටියේ පෙත්සම්කරු අදාල ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් ඉවත් කිරීම නිසි නීතිමය ප්‍රතිපාදන අනුගමනය කරමින් නීත්‍යානුකූල ආකාරයට සිදු කර තිබෙන බව දැනුම් දුන්නා.

    මෙම පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් ගෙන් උපදෙස් ලබා ගැනීම සඳහා තමන්ට කාලය අවශ්‍ය බවද රජයේ නීතිඥවරයා කියා සිටියේ.

    අනතුරුව අධිකරණය විසින් මෙම නියෝගය කර ලැබීය.

    තමන්ව මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමට ගත් තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් අද (29) දින පැවැත්වීමට නියමිත නව ප්‍රාදේශීය සභාපති වරයා තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වීමට නියමිත රැස්වීම අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙසත් තමන්ව ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බව ප්‍රකාශකරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    Last modified on බදාදා, 29 සැප්තැම්බර් 2021 12:00

    Latest News