වියලි කහ තොගයක් සමග සැකකරුවන් ‍02ක් නාවික හමුදා භාරයට

සැප් 09, 2021

    තවත් වියලි කහ කිලෝ 1172 පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

    නාවික හමුදාව විසින් සිලාවතුර සාවාරිපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ අද (09) අළුයම සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ මෙම කහ තොගය සොයා ගෙන ඇත.

    අද අළුයම වයඹ නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයට අනුයුක්ත විශේෂ යාත්‍රා බලඝණයේ කණ්ඩායමක් විසින් සිලාවතුර සාවාරිපුරම් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී ගොඩබිම දෙසට යාත්‍රා කළ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී. එහිදී, එම යාත්‍රාව තුල තිබූ නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ උර 18ක අසුරන ලද වියලි කහ කිලෝ 679 ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවූ අතර, ඒ අනුව, එම වියලි කහ තොගය සහ යාත්‍රාව එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    තවද, එම වෙරළ ප්‍රදේශයේ සිදුකළ වැඩිදුර සෝදිසි මෙහෙයුම් මඟින් ජාවාරම් කරුවන් විසින් නාවික හමුදා මෙහෙයුම් හමුවේ අතහැරදමා යන ලද බවට සැක කෙරෙන තවත් උර 13ක අසුරා තිබූ වියලි කහ කිලෝග්‍රෑම් 493 ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගත් අතර, ඒ අනුව මෙම සමස්ථ මෙහෙයුමේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝ 1172 ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගැනීමට හැකි විය.

    පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදු කළ මෙ‍ම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 24 ක් වන සිලාවතුර සාවාරිපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොගය, ඩිංගි යාත්‍රාව සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී. තවද, වෙරළ තීරයේ තිබී නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල අංශ වෙත භාර දෙන තෙක් නාවික හමුදා භාරයේ රඳවා තබා ඇත.

    Latest News