හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ මස්සිනාට ඇප

අගෝ 16, 2021

    2016 වසරේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ වෙනත් තරුණියක් දූෂණය කළේ යෑයි කියන ඒ මහතාගේ මස්සිනා වන මොහොමඩ් ෂියාබ්දීන් ඉස්මත් නැමැත්තා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.



    ඒ අනුව අදාළ සැකකරු රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවට නියෝග කළා.

    එමෙන්ම සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස ද මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුට අවවාද කළා.

    මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකරු අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හේමන්ත ගමගේ මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන්නේ වෙනත් අපරාධ සිද්ධියකදී වින්දිත දැරිය විසින් කරන ලද ප්‍රකාශයක් මත බව සඳහන් කළා.

    ඒ අනුව මෙම අපරාධය සිදු වූ දිනය සහ පැමිණිල්ල ඉදිරිපත් වූ දිනය සම්බන්ධයෙන් මේ දක්වා නිශ්චිත කරුණු අනාවරණය වී නොමැති හෙයින් එය සුවිශේෂි කරුණක් සේ සලකා තම සේවාදායකයා ඇප මත මුදාහරින්නැයි නීතිඥවරයා ඉල්ලා සිටියා.

    මෙහිදී කුරුඳුවත්ත පොලිසිය නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ මෙම දැරිය අතවරයට පත්වූ දිනය නිශ්චිත වශයෙන් සොයා ගැනීම සඳහා විමර්ශන පවත්වන බවයි.

    මෙම සැකකරු ඇප මත මුදා හරිනු ලැබූවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බවත් මෙම සිද්ධියට එරෙහිව විශාල මහජන කැළඹීමක් පවතින හෙයින් ඇප පනත යටතේ කකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    මෙහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් ප්‍රශ්න කර සිටියේ මහජන උද්ඝෝෂණ තිබෙන බව පවසමින් සැකකරුවකු රක්ෂිත බන්ධනාගාර ගත කළ හැකිද? යන්න.

    සැකකරුවකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි විමර්ශකයන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියට අදාළව කරුණු විමර්ශනය කිරීමේදී දැරියට සිදු වූ අපරාධය පිළිබඳව නිශ්චිත කරුණු පොලිසිය විසින් ඉදිරිපත් කර නොමැති බව පැවසුවා.

    මෙම විමර්ශන වාර්තාව පිරික්සීමේදී පළමුවන අතවරය නුවරඑළිය ප්‍රදේශයේ සිදුවූ බව සඳහන් කෙරෙන අතර දෙවැන්න පිළිබඳව පැහැදිලි කරුණු අනාවරණය වී නොමැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා මෙවැනි කරුණු පදනම් කරගෙන සැකකරුවකු රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළා.

    මේ ආකාරයේ ඉල්ලීම් මත රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලබන සැකකරුවන් අවසානයේ දී නීතිපතිවරයා විසින් නිදහස් කිරීමට තීරණය කරන බවත් එවැනි දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත වීමෙන් අනතුරුව අවසානයේ දී නිදහස් වන්නේ නම් එවැනි සැකකරුවන්ට සිදුවන අගතිය සම්බන්ධයෙන් වග කියන්නේ කවුදැයි මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියෙන් ප්‍රශ්න කර සිටියා.

    ඒ අනුව මහජන උද්ඝෝෂණ මත සැකකරු ඇප පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි පොලීසිය විසින් කරන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව කී මහේස්ත්‍රාත් වරයා අනතුරුව ඔහු ඇප මත මුදා හළ අතර නඩුව නැවත දෙසැම්බර් මස 6 වනදා කැඳවීමට නියම කළා.

    Latest News