රිෂාඩ් බදියුදීන් 18 වැනිදා දක්වා රිමාන්ඩ්.. (වීඩියෝ)

අගෝ 10, 2021

    පාස්කු ප්‍රහාරයේ නඩුවක් සම්බන්ධයෙන් රැඳවුම් බාරයේ සිටි රිෂාඩ් බදුර්දීන් මහතා එම නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද නියෝග කර තිබේ.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ 2021 .04.21 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ රිෂාඩ් බදුර්දීන් මහතා මෙතෙක් රැඳවුම් බාරයේ තබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝග ලබාගෙන තිබිණ.

    පාස්කු ප්‍රහාරයේ දින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ isaf ahmed නැමති බෝම්බකරුගේ තඹ කර්මාන්ත ශාලාවට රිෂාඩ් බදුර්දීන් මහතා අමාත්‍ය ධුරයේ කටයුතු කරන කාලයේදී බලපත්‍රයක් ලබා දීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරේ.

    එම බලපත්‍රය ලබා දීම සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලදී එම බෝම්බකරුට ලබාදී ඇති බල පත්‍රය හේතුවෙන් සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බ ප්‍රහාරයට එම බලපත්‍රයෙන් අපනයනය කළ තඹ වලින් උපයා ගත් මුදල් භාවිතා කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

    තඹ කර්මාන්ත ශාලාවට තඹ අපනයනය කිරීමට ලබාදුන් බලපත්‍රය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරෙන අතරම තඹ කර්මාන්ත ශාලාවේ හිමිකරු වන සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු සම්බන්ධයෙන් සිදුකරන නඩු විභාගය අවසන් වන තුරු රිෂාඩ් බදුර්දීන් මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන්නේ.

    එම නඩුව යළි මේ මස 18 වැනි දිනට කැඳවීමට නියමිතයි.

    අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රිෂාඩ් බදුර්දීන් මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි, මෙම නියෝගය ලබා දී තිබෙන්නේ.

    ඉන් අනතුරුව අද පස්වරුවේ රිෂාඩ් බදුර්දීන් මහතාව බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන යනු ලැබීය.

    Last modified on අඟහරුවාදා, 10 අගෝස්තු 2021 19:03

    Latest News