ETI අධ්‍යක්ෂවරු 4දෙනෙකුට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසු ඇප

අගෝ 03, 2021

    රුපියල් බිලියන 7ක තැන්පතු මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි, චෝදනා එල්ල වී සිටින ඊ.ටී.අයි සමාගමේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් හතර දෙනෙකුට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන්නේය.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය අධිකරණය හමුවේ පෙනී සිටියේය.

    ඉන්පසුව විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාර දීම සිදු කෙරුණු අතර පසුව ඔවුන් රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.

    එම නඩුවේ විත්තිකරුවකු වශයෙන් ඊ.ටී.අයි සමාගම ද නම් කර තිබේ. අනතුරුව නඩුව සැප්තැම්බර් මස 8 වැනිදා කැඳවීමට ද නියම කෙරිණ.

    ඊ.ටී.අයි සමාගම විසින් ස්වර්ණාභරණ අලෙවි කරන මුවාවෙන් දිවයින පුරා ශාඛා පිහිටුවා තැන්පත්කරුවන්ට ඉහළම පොලී ලබා දෙන බව පවසමින් තැන්පතු මුදල් භාරගන රුපියල් බිලියන 7ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

    Latest News