අවු.30ට වැඩි ජනගහනයෙන් එන්නත් ලබාගත් පිරිස 87.63% දක්වා ඉහළට

අගෝ 03, 2021

    මෙරට වයස අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පිරිස සියයට 87.63 දක්වා ඉහළ ගොස් තිබේ. වැඩිම එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ලබාදී ඇත්තේ, බස්නාහිර පළාත තුළයි.

    එය සියයට 89.16ක්. ගම්පහ දිස්ත්‍රික්කයේ සියයට 93.96කට, කළුතර දිස්ත්‍රික්කයේ සියයට 87.23කට සහ කොළඹ දිස්ත්‍රික්කයේ සියයට 83.27කට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාදී තිබේ.

    සෞඛ්‍ය අංශ පවසන්නේ, සියයට 75කට වැඩි එන්නත් මාත්‍රා ප්‍රමාණයක් දිස්ත්‍රික්ක 12ක ජනතාවට ලබාදී ඇති බවයි. ඒගාල්ල,මාතර,හම්බන්තොට,කුරුණෑගල,පොළොන්නරුව,මහනුවර,මාතලේ,නුවරඑළිය,බදුල්ල,අම්පාර,ත්‍රිකුණාමලය සහ මන්නාරම යන දිස්ත්‍රික්ක සඳහායි.

    කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා එක්කෝටි විසිහත් ලක්ෂ 58,216ක් ජනතාවට ලබාදී තිබේ.  ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබා ගත් පිරිස 22,981ක් . සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ දෙලක්ෂ 35,015 ක් ලබාදී ඇති අතර එහි දෙවැනි මාත්‍රාව ලබාගත් පිරිස 18,483ක්.  

    ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 12 දෙනෙකු සහ එහි දෙවැනි මාත්‍රාව 6 දෙනෙකු ඊයේ ලබා ගෙන තිබේ. මොඩර්නා එන්නත ඊයේ ලබා ගත් පිරිස 2,490 දෙනෙක්. ඉකුත් දින 7 තුළ පමණක් මෙරට ජනතාවට ලබාදී ඇති එන්නත් මාත්‍රා ප්‍රමාණය 27 ලක්ෂ 97,107ක්. ඊයේ එන්නත් හාර ලක්ෂ 22,472ක් ලබා දී තිබේ.

    Last modified on අඟහරුවාදා, 03 අගෝස්තු 2021 11:54

    Latest News