රවිගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමට කල් ලබාදෙයි

සැප් 04, 2020

    හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තහනම් නියෝග නිකුත් කළ පෙත්සම්වලට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අභියාචනාධිකරණය විසින් මේ මස 14 වනදා දක්වා නීතිපතිවරයාට කල් ලබා දුන්නා.

    ඒ, 2016 වසරේ සිදු කෙරුණු මහ බැංකු බැඳුම්කර නිකුතු දෙකක දී රුපියල් බිලියන 52 කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්.

    හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු හත් දෙනකු විසින් ගොනුකර තිබෙන පෙත්සම් අද නැවතත් අභියාචනාධිකරණය සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා මෙම පෙත්සම්වලට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

    එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා නීතිපතිවරයා වෙත මේ මස 14 වනදා දක්වා කල් ලබා දුන්නා.

    හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්, එම සමාගමේ අධ්‍යක්ෂවරුන් වන අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන, චිත්ත රන්ජන් හුළුගල්ලේ සහ ශ්‍රී ලංකා මහ බැකුවේ නිලධාරීන් දෙදෙනෙකු වන එස්. පත්මනාදන් සහ ඉන්දික සමන් කුමාර යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ තමන් අත් අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගේ බිරිඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති අංශයේ ඉහළ තනතුරක් දරන බවයි.

    සිය බිරිඳ මහ බැංකුවේ නිලධාරිනියක් වශයෙන් කටයුතු කරද්දී කොටුව මහේස්ත්‍රාත්වරයා තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීම තුළින් එම මහේස්ත්‍රාත්වරයා පක්ෂග්‍රාහි ආකාරයෙන් ක්‍රියා කර ඇති බවටයි ඔවුන් සිය පෙත්සම් වලින් චෝදනා කර තිබුණේ.

    ඒ අනුව තමන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ වරෙන්තු බල රහිත කිරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම් විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු එම වරෙන්තු ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    ඒ අනුව මෙම පෙත්සම් පිළිබඳ විභාගයක් පැවැත්වීමට දැනටමත් තීරණය කර ඇති අභියාචනාධිකරණය පෙත්සම්කරුවන් අත්අඩංගුවට සඳහා නිකුත් කර තිබෙන වරෙන්තු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.

    Latest News