නිශ්ශංක සේනාධිපති හා පාලිත ප්‍රනාන්දු අල්ලස් චෝදනාවෙන් නිදහස්

ජූලි 27, 2021

    රුපියල් ලක්ෂ 355ක මුදලක් අල්ලස් වශයෙන් දීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන මහත්වරු නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළේය.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

    එම අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිකරුවන් වෙනුවෙන් මීට පෙර මූලික විරෝධතාවක් මතු කළ ද එම විවෘත විරෝධතාව මහාධිකරණ විනිසුරුවරිය විසින් ප්‍රතික්ෂේප කළ බව පැවසීය.

    ඉන්පසුව එම තීරණයට එරෙහිව තම සේවාදායකයින් අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කළ බවත් එම ප්‍රතිශෝධන පෙත්සම ඉකුත් 15 වැනිදා කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ඉල්ලා අස්කර ගන්නා බව දැනුම්දුන් බව නීතිඥවරයා අධිකරණය සඳහන් කළේය.

    එම කොන්දේසිට යටත්ව තම සේවාදායකයා අභියාචනාධිකරණය හමුවේ පැවැති ප්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගත් බවයි නීතිඥ අජිත් පතිරණ මහතා සඳහන් කළේ.

    මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් තුෂාරි ජයරත්න මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරුවන්ට නැවත නඩු පැවරීමේ අයිතිය රඳවා ගනිමින් මෙම අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කරගන්නා ලෙස අල්ලස් කොමිසමෙන් තමන්ට උපදෙස් ලැබී ඇතැයි සඳහන් කළාය.

    ඒ අනුව අදාළ අධි චෝදනා පත්‍ර ඉල්ලා අස්කර ගන්නා බවයි ඇය ප්‍රකාශ කළේ.

    ඒ අනුව අදාළ අදාල අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් මහාධිකරණ විනිසුරුවරයා ඒ අනූව විත්තිකරුවන් දෙදෙනා නිදහස් කිරීමටද නියම කළේය.

    2012 සහ 2014 අතර කාල සීමාව තුළ ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් සමාගමට ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටු කර දීම සඳහා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දුන් බවට චෝදනා කරමින් මෙම නඩුව තුළින් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට චෝදනා එල්ල කර තිබේ.

    එම ලක්ෂ 355 ක මුදල අල්ලස් වශයෙන් ලබා ගැනීම තුළින් විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ද වරදක් සිදු කර ඇතැයි, මෙම නඩුවෙන් තවත් චෝදනාවක් එල්ල කර ඇත.

    Latest News