නිශ්ශංක සේනාධිපති නො.14 යළි අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග

ඔක් 22, 2019

    දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා නොවැම්බර් මස 14 වන දා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය විසින් බන්ධනාගාර බලධාරීන්ට නියම කළේය.

    රුපියල් ලක්ෂ 355 ක මුදලක් අල්ලස් වශයෙන් දීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති යන මහත්වරුන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් අද කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේ නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටි නිශ්ශංක යාපා සේනාධිපති මහතා අධිකරණයේ පෙනී සිටියේ නැත. ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අධිකරණය කරුණු දක්වමින් තම සේවාදායකයා වෙනත්  නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බව දන්වා සිටියේය.
    ඒ අනුව නඩුව නැවත නොවැම්බර් මස 14 වනදා කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින මෙම නඩුවේ වැඩිදුර විභාගය සඳහා දින නියම කරන බවයි කියා සිටියේ. එදින විත්තිකාර නිශ්ශංක සේනාධිපති අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය. 
    ඉකුත් රජය සමයේ ගාලු වරාය ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටුකර දීම සඳහා රුපියල් ලක්ෂ 355ක් අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති ිශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුවෙන් චෝදනා එල්ලකර තිබේ.

    එම රුපියල් ලක්ෂ 355 ක මුදල විත්තිකාර පාලිත ප්‍රනාන්දු මහතාට  අල්ලස් වශයෙන් දීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි සඳහන් කරමින් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතාට එරෙහිව තවත් චෝදනාවක් එල්ල කර තිබේ.



    Last modified on අඟහරුවාදා, 22 ඔක්තෝබර් 2019 12:08

    Latest News