2019 ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් - ජනපති (වීඩියෝ)

පෙබ 11, 2019

    මැතිවරණ වර්ෂයක් වු මෙම වසරේ දේශපාලනඥයින් මැතිවරණ සටන්වල නිරතව සිටියද, ආර්ථික වර්ධන වේගය ඉහළ නංවා ගැනීමේ අභියෝගයට මුහුණ දී ආර්ථිකයේ හැරවුම් ලක්ෂයක් ඇති කිරිමට එක්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමස්ත රාජ්‍ය සේවයට ආරාධනා කරයි.

    එසේ නොවන්නේ නම් ආර්ථික වශයෙන් මුහුණ දීමට සිදුවන්නේ ඉතා කනගාටුදායක තත්ත්වයකට බව ඔහු පෙන්වා දුන්නේය. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (11) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති විශේෂ හමුවක් අමතමිනි.

    මැතිවරණ ව්‍යාපාර හේතුවෙන් කිසි විටෙකත් සංවර්ධනය සහ මහජන සේවාවන් අඩ පණ නොවිය යුතු බව ජනාධිපතිතුමා මෙහිදි අවධාරණය කළේය. රට මුහුණ දී ඇති ව්‍යසනයන්ගෙන් ජනතාව ගලවා ගනිමින් යහපත් සමාජයක් සහ නීතිගරුක රටක් ගොඩනැගීමට කි‍්‍රයාත්මක වැඩපිළිවෙළ ද කිසිසේත් පසුබෑමකට ලක් නොකළ යුතු බව ජනාධිපතිතුමා කියා සිටියේ ය.

    දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මගපෙන්වීමෙන් කි‍්‍රයාත්මක ග‍්‍රාමශක්ති ජාතික වැඩසටහන සහ ඒ ආශ‍්‍රිතව පොදු ජනතා සුබසිද්ධිය උදෙසා ජනාධිපති කාර්යාලය කි‍්‍රයාවට නංවා ඇති විශේෂ ව්‍යාපෘතිවල 2019 ඉලක්ක පිළිබඳ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමට ජනාධිපතිතුමා විසින් මෙම හමුව කැඳවා තිබිණි. ග‍්‍රාමීය දරිද්‍රතාවය පිටුදැකීමේ ප‍්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය සාර්ථකව දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවා තිබේ. නිෂ්පාදන කි‍්‍රයාවලිය තුළින් දුගීබව තුරන් කර ස්වශක්තියෙන් නැගී සිටින පුද්ගලයෙකු නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ විශේෂත්වයි. මේ වසරේදී එය තවදුරටත් පුළුල් කිරීම අපේක්ෂාවයි. එම අරමුණින් පෙබරවාරි 18 වනදා සිට 24 වනදා දක්වා ග‍්‍රාමශක්ති ජාතික සතිය ලෙස ද ප‍්‍රකාශයට පත් කොට තිබේ.

    එමෙන්ම මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන, වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන, පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන, දරුවන් සුරකිමු ජාතික වැඩසටහන, තිරසර පාසල් වැඩසටහන, ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහ, ජාතික පෝෂණ වැඩසටහන, ආබාධ සහිත සහ වැඩිහිටි පුද්ගලයන් සවිබල ගැන්වීමේ වැඩසටහන, සංස්කෘතික පුනර්ජීවන වැඩසටහන ඇතුළු ජාතික වැඩසටහන් පොදු ජන සුබසිද්ධිය උදෙසා ජනාධිපති කාර්යාලය මගින් කි‍්‍රයාවට නංවා තිබේ. එක්සත් ජාතින්ගේ තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමට සහ 2025 වන විට දිළිදුබවින් තොර ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීමේ අපේක්ෂාව අනුවෙන් එය ක්‍රියාවට නංවා ඇත.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ සියයට 3/ - 4ක වැනි අඩු මට්ටමක පවතින ආර්ථික වර්ධන වේගය දේශපාලන කරුණු හේතුවෙන් තවදුරටත් මෙම වසරේ දී පහළ වැටුණහොත් රටක් ලෙස නැගී සිටීමට එය කිසිසේත් සුදුසු තත්ත්වයක් නොවන බවයි. රටේ ආර්ථික වර්ධන වේගය ඉහළ නංවා ගනිමින් මිලියන 21 වූ ජනතාවට හොද ජීවන තත්ත්වයක් උදාකරදීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට කැපවීමෙන් වගකීම් ඉටුකරන ලෙස ද ජනාධිපතිතුමා සියලූදෙනාගෙන් ඉල්ලා සිටියේය . එහිදී රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිතුමා ඉලක්ක සහගතව වැඩ කිරීම මෙන්ම ප‍්‍රතිපාදනවලින් උපරිම ප‍්‍රයෝජන ගැනීමේ වැදගත්කම පැහැදිලි කළේය.

    දැනට පුළුල් ලෙස දීප ව්‍යාප්තව කි‍්‍රයාවට නංවා ඇති මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධපතිතුමා කියා සිටියේ මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් දැඩි නීති රීති කි‍්‍රයාත්මක කරනවා සේම ඊට ඇබ්බැහිවූවන් නිදහස් කර ගැනීමේ විශේෂ වැඩසටහනක් ද ඒ සමඟම කි‍්‍රයාවට නංවන බවයි.

    වන ඝනත්වය ඉහළ නංවා ගනිමින් පරිසර සංරක්ෂණය වෙනුවෙන් ගෙන යන ජාතික වැඩසටහන පිළිබඳව ද ජනාධිපතිතුමා පැමිණි සිටි පිරිස දැනුවත් කළේය. මේ අතර ගස් කැපීමට භාවිත කරන කුඩා ප‍්‍රමාණයේ චේන්සෝ යන්ත‍්‍රයේ සිට විශාල ප‍්‍රමාණයේ යන්ත‍්‍ර දක්වා අනිවාර්යයෙන් බලපත‍්‍රයක් ලබාගත යුතු බවට නව චක‍්‍රලේඛයක් නිකුත් කරන බව ද ජනාධිපතිතුමා මෙහි දී ප‍්‍රකාශ කළේය.

    ඒ අනුව එවැනි යන්ත‍්‍ර ළග තිබෙන පුද්ගලයන් මෙම පෙබරවාරි 15 වනදා සිට මාර්තු 01 වනදා දක්වා කාලය තුළ එය ළඟම තිබෙන පොලිසියට වාර්තා කළ යුතුවේ. සෑම පොලිස් ස්ථානයක්ම තම බලප‍්‍රදේශය තුළ එවැනි යන්ත‍්‍ර ළඟ තිබෙන පුද්ගලයන් පිළිබඳ නාම ලේඛනයක් පවත්වාගෙන යා යුතු අතර ඒ අනුව එම යන්ත‍්‍ර සඳහා බලපත‍්‍ර නිකුත් කිරීමට පියවර ගැනේ. බලපත‍්‍රයක් නොමැතිව එවැනි යන්ත‍්‍ර පරිහරණය කරන පිරිස් අත්අඩංගුවට ගෙන නීතිය කි‍්‍රයාත්මක කිරීමට පියවර ගන්නා බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා මෙම සියලූ තීන්දු තීරණ රටේත් මතු පරපුරේත් යහපත වෙනුවෙන්ම බව කියා සිටියේ ය.

    Last modified on සදුදා, 11 පෙබරවාරි 2019 20:10

    Latest News