මුදල් ඇමති බැසිල් රාජපක්ෂට එරෙහිව ගොනුකළ නඩුව කල් යයි

ජූලි 19, 2021

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව තිබෙන නඩුව සැප්තැම්බර් 01 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

    කිත්සිරි රණවක මහතා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයායි.

    2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් ලක්ෂ 365 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පවරා ඇති එම නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් තිබේ ද? යන්න පිළිබඳව නීතිපතිවරයා කරුණු අධ්‍යයනය කරමින් සිටින හෙයින් එය කල් තැබීමට තීරණය කර තිබෙනවා.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව පවත්වාගෙන යාමට ඇති හැකියාව පිළිබඳව විත්තියේ නීතිඥවරු විසින් නීතිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කර ඇති බවත් නීතිපතිවරයා එම කරුණු අධ්‍යයනය කිරීමට සූදානම් බවත් පැවසුවා.

    මීට අදාළව තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීමට අවශ්‍ය බවට විත්තියේ නීතිඥවරු දැනුම් දී ඇති හෙයින් මෙම නඩුවේ අද දින පැවැත්වීමට නියමිත විභාගය අවලංගු කර වෙනත් කැඳවීම් දිනයක් ලබා දෙන ලෙස ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    එම ඉල්ලීම පිළිගත්හා මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුව සැප්තැම්බර් මස 01 වන දා යළි කැඳවන ලෙස නියම කළා.

    2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් ලක්ෂ 365 ක මුදලක් වැය කර දිවයින පුරා ප්‍රාදේශීය සභා වෙත ජී.අයි.පයිප්ප බට මිලදීගෙන බෙදාහැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් ඉකුත් යහපාලන රජය සමයේ වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණා.

    Latest News