ජපානය ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මිලියන 1.45 ක් තෑගි කරයි

ජූලි 15, 2021

    ශ්‍රී ලංකාවේ 'කොවිඩ්-19' ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) කොවැක්ස් පහසුකම හරහා ජපානයේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 1.45 ක් ශ්‍රී ලංකාවට ලබා දීමට ජපාන රජය තීරණය කර තිබේ. මෙම එන්නත් ඉදිරි සතිවල දී ජපානයේ සිට ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ‍.

    ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස සහ 'කොවිඩ්-19' ට එරෙහි සටනේ දී හැකි තරම් පිරිසකට ආරක්ෂිත හා ඵලදායී එන්නත් සඳහා සාධාරණ ප්‍රවේශයක් ලබා දීම සහතික කිරීම පිණිස ජපාන සහයෝගයේ අංගයක් ලෙස මෙම තීරණය ගෙන තිබේ.

    මීට අමතරව, “Last Mile Support” වැඩසටහනේ කොටසක් ලෙස, නිසි එන්නත ලබා දීමේ ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා මෙන්ම රට පුරා සිටින සියලුම ජනතාවට එන්නත් සඳහා සමාන ප්‍රවේශයක් සහතික කිරීම සඳහා ජපාන රජය යුනිසෙෆ් හරහා ශීත ගබඩා දාම උපකරණ ලබා දී ඇත. සුදුසු උෂ්ණත්වයේ දී එන්නත් ගබඩා කිරීම සහ එන්නත් දේශීය එන්නත් මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම සඳහා ශීත ගබඩා පෙට්ටි සහ එන්නත් රැගෙන යන උපකරණ මීට ඇතුළත් වේ.

    ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මිතුරෙකු ලෙස, එන්නත් කිරීමේ වැඩසටහන තවදුරටත් වේගවත් කිරීමට සහ ශ්‍රී ලංකාවේ 'කොවිඩ්-19' පැතිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය දරන උත්සාහයට මෙම සහයෝගය තුළින් දායක වීමට ජපාන රජය අපේක්ෂා කරයි.

    'කොවිඩ්-19' ට එරෙහිව සටන් කිරීම සඳහා ජපානය ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 16.2 ක් ලබා දී ඇති අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල එන්නත් සමානව බෙදා හැරීම සහතික කිරීම සඳහා කොවැක්ස් පහසුකම සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක් ලබා දීමට පොරොන්දු වී තිබේ. 'කොවිඩ්-19' ට එරෙහි මෙම ඒකාබද්ධ සටනේ දී ජපානය ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

    ටෝකියෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ජනතාවට සහ ජපාන රජයට හා එහි ජනතාවට සහ මෙම උත්සාහය සාක්ෂාත් කර ගැනීම සඳහා වෙහෙස නොබලා කටයුතු කළ නිලධාරීන්ට සිය කෘතඥතාව පළ කරයි.

    Latest News