එම්. සී. සී, ඇක්සා සහ සෝෆා ගිවිසුම්වලට එරෙහි පෙත්සම් බහා තැබීමට නියෝග

ජූලි 12, 2021

    මහත් ආන්දෝලනයකට තුඩු දුන් එම්.සී.සී, ඇක්සා සහ සෝෆා ගිවිසුම් අත්සන් කිරීම වැළැක්වීමේ නියෝග රජය වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් බහා තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

    මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් අද බුවනෙක අලුවිහාරේ, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම්.සී.සී ගිවිසුම හා ඇක්සා ගිවිසුම සම්බන්ධයෙන් පැවති ගැටළුකාරි තත්වය මේ වන විට නිරාකරණය වී ඇතැයි පෙන්වා දුන්නා.

    එහෙත් "සෝෆා" ගිවිසුම අත්සන් නොකරන බවට මේ දක්වා රජයෙන් සහතිකයක් ලැබී නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා "සෝෆා" ගිවිසුම අත්සන් කළ හොත් ඇමරිකානු හමුදාවට නිල ඇඳුම් සහිතව ශ්‍රී ලංකාව තුළ පැමිණ කටයුතු කිරීමට අවස්ථාව උදාවන බව පෙන්වා දුන්නා.

    එය ඉතා බරපතළ ගිවිසුමක් බවත් ඒ තුළින් රටේ පරමාධිපත්‍යය, ජාතික ආරක්ෂාව මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද උල්ලංඝණය වන බවයි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු පෙන්වා දුන්නේ.

    මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ "සෝෆා" ගිවිසුම පිළිබඳව 2019 වසරෙන් පසුව ශ්‍රී ලංකාව සහ ඇමරිකානු පාර්ශ්වයන් අතර කිසිදු කරුණු හුවමාරු වීමක් සිදු වී නොමැති බවයි.

    එම කරුණ කෙරෙහි සෑහීමකට පත්විය නොහැකි බව සඳහන් කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ඉදිරියේ දී රජය "සෝෆා" ගිවිසුම අත්සන් කිරීමට සූදානම් වූවහොත් මෙම පෙත්සම සලකා බැලීම සඳහා යළි කැඳවීමේ අයිතිය රඳවා ගනිමින් මෙම පෙත්සම් බහා තබන ලෙස ඉල්ලා සිටියා.

    ඒ අනුව පෙත්සම්කාර පාර්ශවයේ ඉල්ලීම පරිදි එම පෙත්සම් බහා තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

    එම් සී සී, සෝෆා සහ ඇක්සා ගිවිසුම් අත්සන් කිරීම වැළැක්වීමේ නියෝගයක් රජය වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ඉකුත් යහපාලන රජය සමයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, නීතිඥ දර්ශන වේරදුවගේ ඇතුළු පාර්ශව කිහිපයක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

    Latest News