MCC ගැන US තානාපති කාර්යාලයෙන් පරස්පර ප්‍රකාශ (වීඩියෝ)

ජූනි 28, 2020
  • අමෙරිකානු එක්සත් ජනපදයේ “MCC” ගිවිසුම් ක්‍රියාවලියට අදාළව 2017 සහ 2018 වසරවලදී එවකට පැවති ශ්‍රී ලංකා රජයට මුල්‍ය ප්‍රධාන දෙකක් සිදුකර ඇති බව, 2018 වසරේ මෙරට අමෙරිකානු තානාපති කාර්යාලීය වෙබ් අඩවියේ පළ වූ වාර්තාවක දැක්වේ.

    එහෙත්, ඉකුත්දා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයට මීට පරස්පර විරෝධි ප්‍රකාශයක් සිදුකර තිබිණ. කලින් පැවති රජයට “එම් සී සී“ ක්‍රියාවලිය යටතේ මුදල් ලැබුණු බව, එම ගිවිසුම සමාලෝචනයට පත්කළ කමිටු අවසන් වාර්තාවේද සඳහන් වේ.

    සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය හෙවත් “එම් සී සී” ගිවිසුම වසර කිහිපයක් පුරා මෙරට දේශපාලනික වශයෙන් සංවාදයට ලක් වූ මාතෘකාවක්. ඒ පිලිබඳව යලි පුළුල් අවදානයක් යොමු වූයේ පසුගිය 25 වැනිදා “එම් සී සී“ සමාලෝචන කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාට බාරදුන් අවසන් වාර්තාව පිලිබඳ තොරතුරු මාධ්‍ය ඔස්සේ හෙලිවීමත් සමඟ. එම වාර්තාවේ වඩාත් අවදානයට ලක්වූ කරුණක් වන්නේ, 2017 සහ 2018 වසරවලදී “එම් සී සී” ගිවිසුමේ අදියර දෙකක් අත්සන් තබා ඇති බව, අනාවරණය වීමයි. ඒ අනුව, අමෙරිකානු එක්සත් ජනපදය එවක පැවති රජයට පිළිවෙලින්, අමෙරිකානු ඩොලර් මිලියන 7.4ක් සහ අමෙරිකානු ඩොලර් මිලියන 2.6ක් ප්‍රදානය කර ඇති බවත්, ඒ පිළිබඳ ගිණුම් වාර්තා කිසිදු තැනක දක්නට නොලැබෙන බවත්, අවසන් වාර්තාවේ සඳහන් වේ.

    මේ සම්බන්ධයෙන් ඊට පසු දින ශ්‍රී ලංකා- අමෙරිකානු තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ශ්‍රී ලංකාවේ එවක රජයට “එම් සී සී” ක්‍රියාවලිය යටතේ මුදල් ලබා නොදුන් බව ප්‍රකාශ කළේය. එම ට්විටර් සටහනේ දැක්වුණේ “එම් සී සී” ක්‍රියාවලිය අවසන්ව නොතිබූ බැවින් ශ්‍රී ලංකා රජයට මුදල් ලබාදීමක් සිදු නොකළ බවයි.

    එහෙත් ඒ ප්‍රකාශයට පරස්පර විරෝධී වාර්තාවක් අමෙරිකානු තානාපති කාර්යාලය 2018 වසරේ ජුනි මස 13 වැනිදා පළකර ඇති බව, මෙරට ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයක් අද අනාවරණය කර තිබිණ. එදා අමෙරිකානු තානාපති කාර්යාලය පළ කළ වාර්තාවේ දැක්වෙන්නේ, 2018 වසරේ ජුනි මාසයේ දී අමෙරිකානු රජයේ ආසියා ශාන්තිකර, යුරෝපා හා ලතින් අමෙරිකානු කලාප බාර “එම් සී සී” විධායක අධ්‍යක්‍ෂ කැරොලීන් නගුයේන් ශ්‍රී ලංකාවේ චාරිකා කළ අතර ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය සමඟ “එම් සී සී” ක්‍රියාවලියට අදාළව ගිවිසුමක් අත්සන් කළ බවයි. මේ එම වාර්තාවෙන් උපුටා ගන්නා ලද කොටසක්.

    “චාරිකාව අතරවාරයේ දී නගුයේන් හා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී රොබට් හිල්ටන් මුදල් අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකා රජයට අමෙරිකානු ඩොලර් මිලියන 2.6ක අතිරේක මුදල් ප්‍රමාණයක් සිදු කිරීමේ ගිවිසුමකට අත්සන් තැබීමේ අවස්ථාවට එක්විය. ඒ පූර්ණ සංවර්ධන ක්‍රියාවලියට අවසන් වශයෙන් තහවුරු කිරීම සඳහායි. මේ මුදල ලබාදී ඇත්තේ, 2017 වසරේ ජුලි මාසයේ දී “එම් සී සී” ආයතනය ශක්‍යතා අධ්‍යයනය සඳහා ලබාදුන් අමෙරිකානු ඩොලර් මිලියන 7.4ක මුදලට අමතරවයි”.

    එදා එම ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න සහ අමාත්‍ය කබීර් හෂීම් යන මහත්වරු සහභාගි වූ බව ද අමෙරිකානු තානාපති කාර්යාලීය වාර්තාවේ සඳහන් වේ.

    Latest News