මරණ දඬුවමට එරෙහි ප්‍රේමලාල් ජයසේකරගේ අභියාචනාවට දින නියම වෙයි

ජූලි 09, 2021

    මරණීය දණ්ඩනය නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු විසින් තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන අභියාචනා විභාග සඳහා අභියාචනාධිකරණය දින නියම කළා.



    එම අභියාචනා අද නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    මෙම අභියාචනා පෙත්සම් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා තමන්ට කල් ලබාදෙන ඉල්ලීම් කර සිටියා.

    එහිදී විනිසුරු මඬුල්ල නියෝග කළේ අදාළ අභියාචනා සැප්තැම්බර් මස 7 වන දා විභාගයට ගන්නා බවයි.

    2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ එවක පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දේශපාලන රැස්වීම් වේදිකාවකට පහරදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී නිලන්ත ජයසිංහ හා කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන යන අයට රත්නපුර මහාධිකරණය විසින් 2020 වසරේ ජූලි මස 31 වනදා මරණීය දණ්ඩනය නියම කළා.

    තමන්ට මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර ඇති ආකාරය නීතියට පටහැනි යැයි පෙන්වා දෙන ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඇතුළු විත්තිකරුවන් තමන්ම එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් මෙම අභියාචනා ඉදිරිපත් කර තිබෙනවා.

    Latest News