ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නඩුව කල්යයි

ජූලි 09, 2021

    අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බව දන්වමින් නීතිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ඔහුගේ නීතිඥවරයා අද කොළඹ මහාධිකරණයට දන්වා සිටියා.

    ඔහු අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් යොදා ගනිමින් කොළඹ කින්සි පාරේ නිවසක් මිලදී ගත්තේ යැයි ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් ඉර්ෂඩීන් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට සමාන්තර සාක්ෂි තිබෙන විත්තිකරුට එරෙහිව ගොනුකර තිබූ තවත් නඩුවකින් ඔහු නිදොස් කොට නිදහස් කර තිබෙන හෙයින් මෙම නඩුව ද පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව දන්වමින් නීතිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව කියා සිටියා.

    ඒ අනුව නඩු විභාගය සදහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසයි නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    මෙහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ද අධිකරණයට දන්වා සිටියේ මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් වූවොත් ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා කරුණු අධ්‍යයනය කර සුදුසු තීරණයක් ගනු ඇති බවයි.

    ඒ අනුව නඩුව සැප්තැම්බර් මස 01 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කළා.

    අමාත්‍ය වරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 24 ක මුදලක් වැයකර කොළඹ කිසි පාරේ නිවසක් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට ඉකුත්දා යහපාලන රජය සමයේ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණා.

    Latest News