ගෑස් මිල වෙනස් නොවේ (වීඩියෝ)

ජූනි 22, 2021
  • ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවෙනස්ව පවත්වාගෙන යා යුතු බවට කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

    අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් මේ බව පැවසීය.

    ශ්‍රී ලංකාවේ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් කර්මාන්තය (LP ගෑස්) ප්‍රතිව්‍යුහ ගත කිරීම සඳහා වෙළඳ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

    ඒ අනුව ගෑස් සමාගම් නියෝජිතයින් සමඟ සාකච්ඡා කර අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබේ.

    එහිදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දැනට නියම කර ඇති පරිදි කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු 1,493ක මිලට ලිට්‍රෝ ගෑස් සමාගම සහ ලාෆ් ගෑස් සමාගම විසින් තවදුරටත් වෙළෙඳපොළේ අලෙවි කළ යුතුය.

    ඊට අමතරව ගෑස් මිලදී ගැනීම, ප්‍රවාහනය සහ ගබඩා කිරීම සඳහා හම්බන්තොට නව ගෑස් පර්යන්තය භාවිත කිරීමට යෝජනා කර ඇති අතර ප්‍රධාන සමාගම් දෙකටම ඒ සඳහා සම අවස්ථා හිමිවනු ඇති. එමෙන්ම රටට අවශ්‍ය LP ගෑස් මිලදී ගැනීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු ප්‍රවාහන හා ගබඩා කිරීමේ කටයුතු ක්‍රමවත්ව පවත්වාගෙන යාම සඳහා ලිට්රෝ සහ ලාෆ් සමාගම් දෙකේම අදාල ක්ෂේත්‍රය පිළිබද විශේෂඥ දැනුමැති නියෝජිතයින් ඇතුලත් වන පරිදි කමිටුවක් පත් කිරීමටත් මෙහිදී යෝජනා වී තිබෙනවා.

    එමෙන්ම මෙම සියලු යෝජනා මාස 06ක් ඇතුළත ක්‍රියාත්මක කිරීමටත් එහි උපරිම ආර්ථික ප්‍රතිලාභ මහජනතාව වෙත ලබාදීමටත් මෙම අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ දී තීරණය වී තිබෙනවා.

    Last modified on අඟහරුවාදා, 22 ජූනි 2021 16:06

    Latest News