එක්ස්ප්‍රස් පර්ල් හිමිකරුවන් ශ්‍රී ලංකා ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියි

ජූනි 04, 2021

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශ වීමෙන් ශ්‍රී ලංකාවට සිදුවූ හානිය සම්බන්ධයෙන් මෙරට රජයෙන් හා ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව නෞකාවේ හිමිකාර සමාගම වන එක්ස්ප්‍රස් ෆීඩරස් ආයතනයේ ප්‍රධාන විධායක ෂැමොවෙල් යස්කොවිට්ස් ප්‍රකාශ කරයි.

    පාරිසරික හානිය අවමකරගැනීමට ශ්‍රී ලංකා රජයට සහය දක්වන බවයි,ඔහු සඳහන් කරන්නේ. වන්දි ලබාදීම සඳහා සිදුවූ සම්පූර්ණ හානිය තක්සේරු කළ යුතු බව ද ප්‍රධාන විධායක යස්කොවිට්ස් ප්‍රකාශ කරයි.

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ශ්‍රී ලංකාවට සිදුවන පාරිසර හානිය පිළිබඳ මේ වන විට දැඩි අන්තර්ජාතික අවධානයක් යොමුව තිබේ. නයිට්‍රික් අම්ල ටොන් 25ක් හා අනෙකුත් රසායනික ද්‍රව්‍ය මෙන්ම ප්ලාස්ටික් මගින් ද ශ්‍රී ලංකාවේ සමුද්‍ර හා වෙරළ ආසන්න පරිසරයට දැඩි හානියක් සිදුව ඇති බව අන්තර්ජාතික මාධ්‍ය හා පාරිසරික ආයතන පෙන්වා දෙයි.

    නැවෙන් තෙල් කාන්දු වුවහොත් මෙම හානිය බරපතල විය හැකි බවයි එම ආයතන පෙන්වා දෙන්නේ. මේ සිද්ධියේ ප්‍රධාන වගඋත්තරකරු ලෙස සැලකෙන්නේ පර්ල් නෞකාවේ හිමිකාර සමාගම වන සිංගප්පූරුවේ එක්ස්ප්‍රස් ෆීඩර්ස් ආයතනයයි.

    එහි ප්‍රධාන විධායක ෂැමොවෙල් යස්කොවිට්ස් සිංගප්පූරුවේ සීඑන්ඒ රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ජාවක නිරත විය.
    එහිදී ඔහු ප්‍රකාශ කළේ ඩුබායි රාජ්‍යයේ ජෙබෙල් අලි වරායෙන් රසායනික බහාලුම් නැවට පැටවූ බවයි. ඒවායේ කාන්දුවක් ඇති බව කටාර් රාජ්‍යයේ හමාද් වරායේ දී දැනගන්නට ලැබුණු බව ප්‍රධාන විධායකවරයා සීඑන්ඒ රූපවාහිනියට කියා සිටියේය.

    හානියට පත් බහාලුම් ගොඩබෑම සඳහා හමාද් වරායෙන් සහ ඉන් පසුව ඉන්දියාවේ හසීරා වරායෙන් ඉල්ලුම් කළ බව ද ඔහු සඳහන් කළේය. එහෙත් එම වරායන් දැනුම් දී ඇත්තේ තමන්ට ඒවා හැසිරවීම සඳහා මිනිස් බලය හා යන්ත්‍රෝපකරණ නොමැති බවයි.
    අනතුරුව කොළඹ වරාය දෙසට පැමිණෙමින් සිටිය දී මෙම අනතුර සිදුවූ බව ඔහු ප්‍රකාශ කරයි.

    මම මගේ බලවත් කනගාටුව ප්‍රකාශ කරන අතරම සමාව ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා ජනතාවගෙන් ඔවුන්ගේ ජීවනෝපායට හා පරිසරයට සිදුවූ හානිය සම්බන්ධයෙන්. ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නැව මුහුදේ ස්ථාවර තත්වයකට පත්වන තෙක් සිටිය යුතුයි.

    හානිය පිළිබඳ තක්සේරුව දැන් සිදුකෙරෙමින් පවතිනවා. එය දීර්ඝ ක්‍රියාමාර්ගයක් වේවි. ප්‍රථමයෙන් සිද්ධිය සම්පූර්ණයෙන් අවසන් විය යුතුයි. ඒ අනූවයි, සමස්ත හානිය පිළිබඳ තක්සේරුව සිදුකෙරෙන්නේ. අපේ සමාගම පූර්ණ රක්ෂණයක් සිදුකර තිබෙනවා. ඒ නිසා එම ක්‍රියාදාමයේදී අපිට වන මූල්‍ය බරපැන අවමයි.

    Latest News