චන්දිමාල්ගේ උපන්දින සාදයේදී අත්අඩංගුවට ගත් සැකරුවන් 7 දෙනාට ඇප

ජූනි 04, 2021

    නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පන්තියේ හෝටලයක උපන්දින සාදයක් පැවැත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් හත්දෙනෙකු රුපියල් ලක්ෂය බැගින්වූ පුද්ගලික ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් සිව්දෙනෙකු සහ සැකකාරියන් තුන් දෙනෙකු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වයි. ප්‍රභාකරන් මහතා හමුවට ඉදිරිපත් කළේය.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගේ මෑණියන් වන 73 හැවිරිදි කුරුවිට ගමගේ ගුණවතී සිල්වා, ඔහුගේ ඥාති දියණියක් වන 16 හැවිරිදි කේ.ජී. අනර්කලී ආකර්ෂා සහ මාධවී ඇන්තනි යන අය ද ඇතුළත් විය.

    කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සිද්ධියට සම්බන්ධ සියලුම සැකකරුවන් වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන් කළේය.

    එම සැකකරුවන් ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් පොලිසිය විරුද්ධ නොවන බව සඳහන් කළ සහකාර පොලිස් අධිකාරීවරයා ඇප ලබා දීමෙන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මාර්ගයෙන් මෙම සැකකරුවන් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කරන බව පැවසීය.

    මෙහිදී මාධවී ඇන්තනී නමැති සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මේරි ඩික්මන් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොරෝනා ආසාදිතයින් නිවසේ දී නිරෝධායනයට ලක් කිරීම රජයේ වත්මන් ප්‍රතිපත්තිය වී ඇතැයි සඳහන් කළාය.

    ඒ අනුව මෙම සැකකරුවන් නිවසේදීම නිරෝධායනයට ලක් කිරීමට පියවර ගන්නා ලෙසද ඇය අධිකරනයෙන් ඉල්ලා සිටියාය.

    එහිදී සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මේ පිළිබඳව තීරණය කළ යුත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා බව පෙන්වා දුන්නේය.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සියලුම සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින්වූ පුද්ගලික ඇප මත මුදාහැරීමට නියෝග කළ අතර පැමිණිල්ල නැවත අගෝස්තු මස 27 වැනිදා කැඳවීමට ද නියම කළේය.

    Latest News