කොළඹ වරාය නගර කලාප පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ

අප්‍රේ 21, 2021

    කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම අද පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ තුන් වන දිනයේත් ආරම්භ විය.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙයි.

    මෙහිදී අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මුලින්ම කරුණු ඉදිරිපත් කිරිම ආරම්භ කළේය.

    ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන ජනාධිපතිවරයා හරහා ක්‍රියාත්මක වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සදහන් කර ඇතැයි පැවසීය.

    කොළඹ වරාය නගර ආර්ථික කලාප සංකල්පයට එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය ඇතුළු පාර්ශව විරුද්ධත්වය පළ කර නොමැති බව ප්‍රකාශ කල ජනාධිපති නීතිඥවරයා මෙම පනත් කෙටුම්පත පිළිබඳව පවතින වැරදි වටහා ගැනීම් හේතුවෙන් නොසන්සුන් කාරි තත්ත්වයක් උද්ගතව තිබෙන බව පැවසීය.

    මහජනයා විසින් ජනාධිපතිවරයා වෙත ප්‍රදානය කළ විධායක බලය මගින් යෝජිත කොමිසම ස්ථාපිත කෙරෙන අතර ඊට සාමාජිකයින් පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කරන බවත් ඔහු පැවසුවේය.

    එසේ නම් මෙම ක්‍රියාවලියේ පවතින වරද කුමක් දැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා වරාය නගර කලාපයේ කටයුතු වලට අවසන් වශයෙන් ජනාධිපතිවරයා වගකීමට බැඳී සිටින බව පෙන්වා දුන්නේය.

    ජනාධිපතිවරයා පත් කරනු ලබන අදාළ කොමිසමේ සාමාජිකයන් සම්බන්ධයෙන් යම් අයෙකු අතෘප්තියට පත් වන්නේ නම් ඊට එරෙහිව නීතිමය පියවර අනුගමනය කිරීමට හැකියාව පවතින බව ඔහු සඳහන් කළේය.

    යෝජිත කොමිසමේ සාමාජිකයන් වශයෙන් විදේශීය පුද්ගලයින් පත් කෙරෙන බවට අනවශ්‍ය බියක් නිර්මාණය කොට ඇතැයි චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා අතීතයේ මෙරට මහ බැංකුව , ආයෝජන මණ්ඩලය වැනි ආයතන සදහා ශ්‍රී ලාංකිකයින් නොවන පුද්ගලයින් පත් කර ඇතැයි සිහිපත් කළේය.

    මෙහිදී අග විනිසුරුවරයා මතු කළ ප්‍රශ්ණයකට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥ සිල්වා මහතා යෝජිත කොමිසමේ සාමාජිකයන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් ගැටලුවක් පවතී නම් ඕනෑම අයෙකුට මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරිමට හැකියාව පවතින බව පැවසීය.

    යෝජිත කොමිසම කටයුතු කරන්නේ ජනාධිපතිවරයා විසින් අනුමත කරනු ලබන ප්‍රධාන වැඩපිළිවෙලකට අනුව බවත් එම වැඩපිළිවෙළ සංශෝධනය කිරීමට ජනාධිපතිවරයාට බලය තිබෙන බවත් ඔහු පැවසීය.

    ජාතික යහපත උදෙසා අදාළ කොමිසම වෙත සාමාන්‍ය විධාන මෙන්ම විශේෂ විධාන නිකුත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතු වන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම කොමිසම ක්‍රියාත්මක වන්නේ සම්පූර්ණයෙන්ම ජනාධිපති වරයාගේ අධීක්ෂණය යටතේ බවත් පෙන්වා දුන්නේය.

    ඒ අනුව යෝජිත කොමිසමට රටේ පවතින සෙසු නීති මගහැර ගොස් කටයුතු කිරීමට හැකියාවක් නොමැති අතර එම කොමිසම රාජ්‍ය යාන්ත්‍රණය සමග සමගාමීව කටයුතු කරන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

    පෙත්සම් විභාගය තව දුරටත් පැවැත්වෙයි....

    එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්,ඓ ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ එකමුතුවේ සභාපති වන ඉංජිනේරු ජී. කපිල රේණුක පෙරේරා මහතා ඇතුළු පිරිසක් විසින් පෙත්සම් 19 ක් ඉදිරිපත් කර තිබේ.

    එමෙන්ම අදාළ පෙත්සම් වලට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල , අමාත්‍ය මණ්ඩල ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර ඇතුළු පිරිසක් විසින් අතරමැදි පෙත්සම් 13 ක් ඉදිරිපත් කර තිබේ.

    පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ අදාල පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති වලින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවයි.

    මේ හේතුවෙන් අදාළ වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    Latest News