කොළඹ වරාය නගර පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගයේ සිව්වැනි දිනය අද

අප්‍රේ 22, 2021

    කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම අද පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ හතර වන දිනයේත් ආරම්භ විය.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙයි.

    පෙත්සම් විභාගය ආරම්භයේ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පනත් කෙටුම්පතේ සිදු විය යුතු සංශෝධන කිහිපයක් රජය විසින් දැනටමත් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති දැනුම් දුන්නේය.

    ඒ අතර, යෝජිත කොමිසම විසින් නිකුත් කරනු ලබන රෙගුලාසි පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරිම වැනි කරුණු ඇතුළත් වන බවද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සදහන් කළේය.

    අනතුරුව අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල සහ අමාත්‍ය මණ්ඩල ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා තවදුරටත් කරුණු දක්වමින් යෝජිත කොමිසම සදහා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයින් ගෙන් බහුතරය ශ්‍රී ලාංකිකයින් බව ප්‍රකාශ කළේය.

    අදාළ කොමිසම සදහා සාමාජිකයන් පස් දෙනෙකු පත් කරන්නේ නම් ඉන් තුන් දෙනෙකු ශ්‍රී ලාංකිකයින් වන අතර සාමාජිකයන් හත් දෙනෙකු පත් කරන්නේ නම් ඉන් සිව් දෙනෙකු ලාංකිකයින් වනු ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා අවධාරනය කළේය.

    මෙම ව්‍යාපෘතිය හරහා මෙරට දල දේශීය නිෂ්පාදිතය ඉහල නැංවීමට උපකාරී වන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් උත්පාදනය කිරීමට හැකි වනු ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව පැවසීය.

    පෙත්සම් විභාගය තවදුරටත් පැවැත්වෙයි....

    එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ, පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් , ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ එකමුතුවේ සභාපති වන ඉංජිනේරු ජී. කපිල රේණුක පෙරේරා මහතා ඇතුළු පිරිසක් විසින් පෙත්සම් 19 ක් ඉදිරිපත් කර තිබේ.

    එමෙන්ම අදාළ පෙත්සම් වලට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල , අමාත්‍ය මණ්ඩල ලේකම් ඩොනල්ඩ් ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර ඇතුළු පිරිසක් විසින් අතරමැදි පෙත්සම් 13 ක් ඉදිරිපත් කර තිබේ.

    පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ අදාල පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති වලින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවයි.

    මේ හේතුවෙන් අදාළ වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    Latest News