කොළඹ වරාය නගර පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

අප්‍රේ 19, 2021

    කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබෙන පෙත්සම් විභාග කිරීම අද පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ ආරම්භ විය.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙයි.

    එහිදී පෙත්සම් විභාගය ආරම්භ කිරීමට ප්‍රථම විවෘත අධිකරණයේ කරුණු දැක්වූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් නීතිඥවරු විශාල පිරිසක් පෙනී සිටින හෙයින් සෑම නීතිඥවරයෙකුම සිය වාචික දේශන විනාඩි 20 ත් 30 ත් අතර සීමා කරගන්නා ලෙස ඉල්ලා සිටියේය.

    ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ කේ.කනගීශ්වරන් මහතා කරුණු ඉදිරිපත් කිරිම ආරම්භ කළේය.

    පෙත්සම් විභාගය පැවැත්වෙයි.

    එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන,එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේබණ්ඩාර, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර, තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ එකමුතුවේ සභාපති වන ඉංජිනේරු ජී. කපිල රේණුක පෙරේරා මහතා ඇතුළු පිරිසක් විසින් පෙත්සම් 20ක් පමණ ඉදිරිපත් කර තිබේ.

    එමෙන්ම අදාළ පෙත්සම්වලට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය ඇතුළු පිරිසක් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

    පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ අදාල පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති වලින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවයි. 

    මේ හේතුවෙන් අදාළ වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    Latest News