පිලිප් කුමරුගේ අභාවය ගැන ජනාධිපතිතුමා ශෝකය පළකරයි

අප්‍රේ 10, 2021

    පිලිප් කුමරුගේ අභාවය ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශෝකය පළකරයි

    ගෞරවනීය දෙවැනි එලිසබෙත් මහා රැජිණියනි,

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනතාව හා රජය වෙනුවෙන්, ඔබේ ආදරණීය ස්වාමිපුරුෂයා, එඩින්බරෝහි ආදිපාද පිලිප් කුමරුගේ අභාවය පිළිබඳමගේ හෘදයාංගම ශෝකය පුද කර සිටිමි. ශ්‍රී ලංකාව කෙරෙහි විශේෂ සෙනෙහසකින් බැඳී සිටි එතුමා දෙවන ලෝක යුද්ධ සමයේ තමා ශ්‍රී ලංකාවේ ගත කළ කෙටි කාලය සතුටින් සිහිපත් කළේය. ශ්‍රී ලංකාවේ ජනතාව එඩින්බරෝහි ආදිපාදතුමා මෙරට ගත කළ කාලය සහ පසුව දෙවැනි එලිසබෙත් රැජිණ සමග ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථා දෙක ඉමහත් සතුටින් සිහිපත් කරති.

    පිලිප් කුමරුන්ගේ අභාවය ගැන බලවත් සංවේගය ප්‍රකාශ කරන අතර, බ්‍රිතාන්‍යස ජාතියට එතුමා කළ විපුල සේවය, එතුමාගේ කීර්තිමත් නාවික හමුදා වෘත්තීය ජීවිතය සහ පොදු රාජ්‍ය මණ්ඩලයට එතුමා කළ මෙහෙය අපි ඉමහත් ගෞරවයෙන් සිහිපත් කරමු.

    මගේ හා ශ්‍රී ලාංකීය ජනතාවගේ ශෝකය රාජකීය පවුලේ සාමාජිකයන් වෙත දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. මේ ශෝක ජනක අවස්ථාවේ අපේ සිතිවිලි ඔබ හා ඔබේ රාජකීය පවුල සහ එක්සත් රාජධානියේ ජනතාව සමග බවට සහතික වෙමි.

    මහ රැජිණියනි, මගේ ඉහළම ප්‍රණාමය කරුණාකර පිළිගන්න.

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

    Latest News