අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,රුමේනියානු දූත මණ්ඩල ප්‍රධානී හමුවෙයි

මාර් 23, 2021

    කොළඹ නේවාසික රුමේනියානු දූත මණ්ඩල ප්‍රධානී තානාපති වික්ටර් චියුජ්ඩියා මහතා පසුගියදා (19) විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

    වෙළඳ, ආයෝජන, සංචාරක කටයුතු, විදේශ රැකියා සහ කෘෂිකර්මාන්තය කෙරෙහි අවධානය යොමු කරමින්, දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ක්ෂේත්‍රයන්හි පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳව පාර්ශ්වයන් විසින් සමාලෝචනය කරන ලදී.

    වසර හැට හතරක් පුරා දෙරට අතර පැවති උණුසුම් හා මිත්‍රශීලී සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකාවේ කැපවීම යළිත් තහවුරු කරමින්, නුදුරු අනාගතයේ දී රුමේනියාවේ ශ්‍රී ලංකා නේවාසික දූත මෙහෙවරක් විවෘත කිරීමේ රජයේ අභිප්‍රාය පිළිබඳව විදේශ අමාත්‍ය ගුණවර්ධන මහතා නැවත අවධාරණය කළේය.

    ශ්‍රී ලාංකිකයන්ට විවිධ ක්ෂේත්‍රයන්හි රැකියා අවස්ථා ලබා දීමේ දී රුමේනියාව ශ්‍රී ලංකාව සමඟ ඇතිකරගත් සහයෝගිතාව අගය කළ අමාත්‍යවරයා, අනාගතයේදී මෙම සහයෝගිතාව තවදුරටත් පුළුල් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් කැමැත්ත පළ කළේය.

    රැකියා අංශයේ සහයෝගීතාව පුළුල් කිරීම සඳහා රුමේනියාවේ උනන්දුව තානාපති චියුජ්ඩියා මහතා යළිත් තහවුරු කළ අතර, ඉහළ මට්ටමේ කුසලතා සහ අනුවර්තනය වීමේ හැකියාව නිසා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් රුමේනියාවේ ඉහළ ගෞරවයට පාත්‍ර වී ඇති බව පෙන්වා දුන්නේය.

    රුමේනියාවේ සිට ශ්‍රී ලංකාව සහ දකුණු ආසියාව කරා සංචාරකයින්ගේ පැමිණීම ඉහළ යාමේ ප්‍රවණතාව සැලකිල්ලට ගනිමින්, යුරෝපා සංගම් ජීඑස්පී + පහසුකම වැඩි වශයෙන් භාවිතා කිරීම සහ සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඇතුළුව ද්විපාර්ශ්වික වෙළඳ හා ආයෝජන අවස්ථා පුළුල් කිරීම කෙරෙහි පාර්ශ්වයන් අවධානය යොමු කළේය.

    කලාපීය හා බහුපාර්ශ්වික ක්ෂේත්‍රයන්හි හවුල් අවශ්‍යතා සමාලෝචනය කිරීම, ඉහළ මට්ටමේ සංචාර හුවමාරු කර ගැනීම මෙන්ම අනාගත සහයෝගීතාව සඳහා විභව අංශ හඳුනා ගැනීම යන කරුණු ද මෙම සාකච්ඡාවේ දී ආවරණය විය.

    Latest News