ඇමති අර්ජුන ක්‍රිකට් පරිපාලනයට එමේ සුදානමක්(ඡායාරූප)

පෙබ 01, 2019
  • ඉදිරි ක්‍රිකට් නිලවරණයෙන් තම පාර්ශ්වය ජයගතහොත් රට ගැන සිතන පරිපාලනයක් සහ කණ්ඩායමක් බිහිකරන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

    තමන් වෙනුවෙන් පමණක් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් කණ්ඩායමෙන් ඉවත් කරන බවද ඔහු අවධාරණය කළේය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ උඩුගම්පොල පැවැති ක්‍රීඩා උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

    අමාත්‍ය අර්ජුන රණතුංග “ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තියෙන්නේ තවත් මාස කිහිපයක් පමණයි. ලෝක කුසලානය දිනා ගන්න තියා අවසාන තරගවලට එන්න පුළුවන් තත්වයක්වත් දැන් තියෙනවාද කියලා ප්‍රශ්නයක් අපට තියෙනවා. ක්‍රිකට් අද වැටිලා තියෙන්නේ ඉතා භයානයක තත්ත්වයක. මම පසුගිය වසර කිහිපයේම ක්‍රිකට්වලින් ඉවත් වෙලා සිටියේ. නමුත් තවදුරටත් එහෙම ඉන්න බැහැ. මහජනතාව මගෙන් ප්‍රශ්න කරනවා ඇයි මේ නිහඬ කියලා. ඒ නිසා තමයි ‍මම මෙවර නිලවරණයට ඉදිරිපත් වෙන්න තීරණය කළේ.

    අපි මෙවර ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වෙන්නේ එක් පාර්ශ්වයක් ලෙසින්. එම පාර්ශවයේ මම කැමැති නැති පුද්ගලයින් ඉන්න පුළුවන්. නමුත් ඒ කණ්ඩායමේ සූදුකාරයෝ නැහැ. හොරකම් කරන අය නැහැ. ක්‍රිකට්වලට යමක් කරන්න කැමැති අයයි ඒ පාර්ශ්වයේ ඉන්නේ. අපි කණ්ඩායමක් විදියට මේ නිලවරණයෙන් ජයග්‍රහණය කළාට පස්සේ අනිවාර්යෙන්ම ක්‍රිකට් හදනවා. පසුගිය කාලේ ක්‍රිකට් ක්‍රීඩාවට ආ සල්ලි කොහේ ගියාද කියලත් හොයනවා. මම ඒ සඳහා ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් ආශිර්වාදය ලබා ගන්නවා. අපි අපේ රටේ ක්‍රිකට්වලට ආ ‍මුදල් ගසා කෑවේ කවුද කියලා හොරකම් කළේ කවුද කියලා රටට පෙන්වන්න ඕන....”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

    Last modified on සිකුරාදා, 01 පෙබරවාරි 2019 17:57

    Latest News