පාස්කු ප්‍රහාරය ගැන හේමසිරිට සහ පූජිත්ට ඉදිරිපත් වී ඇති පැමිණිල්ල ඔක්තෝම්බර් 27 කැඳවීමට නියෝග

මාර් 17, 2021

    පාස්කු ඉරුදින එන්න කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති පැමිණිල්ල ඔක්තෝම්බර් 27 කැඳවීමට නියෝග කර තිබේ.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනීමැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකෙරෙන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරුන්ට අදාළව සිදු කළ පරීක්ෂණ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියා.

    මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එම අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින සැකකාර හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරු අධිකරණයේ පෙනී සිටියා.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර නීතිපති දෙපාර්තමේන්තුව වෙත උදෘත යොමුකර ඇති බවයි.

    නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.

    ඉන් අනතුරුව පැමිණිල්ල නැවත ඔක්තෝම්බර් මස 27 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදින නිතිපති උපදෙස් සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙත සිහිකැඳවීමේ ලිපියක් යොමු කරන ලෙසත් නියෝග කළා.

    පාස්කු ඉරුදින එල්ලකළ ප්‍රහාර සිද්ධිය පිළිබඳව කලින්ම ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර මිනී මැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් වී තිබෙනවා.

    Latest News