රංජන්ට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ දෙවන පැමිණිල්ලට දින නියම වෙයි

සැප් 28, 2020

    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර තිබූ තවත් පැමිණිල්ලක් නොවැම්බර් මස 27 වන දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.

    එම පැමිණිල්ල අද සිසිර ද ආබෲ, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ මෙම පැමිණිල්ලට අදාළ සාක්ෂි විභාගය නොවැම්බර් මස 27 වනදා ආරම්භ කරන බවයි.

    2018 වසරේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ නියෝගය අභියෝගයට ලක්කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා පත් කෙරුණු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා රූපවාහිනී වැඩසටහනක දී සිදුකළ මත පළ කිරීම්වලින් අධිකරණයට අපහාසයක් යැයි චෝදනා කරමින් ඒ මහතාට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

    ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත්කළ නොතීසියකට අනුව මෙම නඩු විභාගය ආරම්භ වී තිබේ.

    Latest News