සීනි බදු අඩු කිරීමෙන් රු. බිලියන15.9 ක පාඩුවක් සිදු කළ බවට පෙත්සමක්

මාර් 12, 2021

    රට වැසියන් ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

    ආනයනික සීනි සඳහා පැනවූ බදු අඩු කිරිම තුලින් රජයට රුපියල් බිලියන 15.9ක පාඩුවක් සිදුකිරීම තුළින් රට වැසියන් ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනා කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් අද කළා.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ‍ මහතා වෙනුවෙන් නීතිපතිවරයා, ‍ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල, සතොස හිටපු සභාපති නුෂාඩ් පෙරේරා, පිරමිඩ් විල්මා සමාගම, එහි සභාපති සජාත් මවුසූන්, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ශාන්ත දිසානායක සහ නීතිපති යන අය මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

    පෙත්සම්කරු කියා සිටින්නේ සීනි ආනයනය සඳහා පනවා තිබූ බදු ප්‍රමාණය ශත 25 ක් දක්වා අඩු කිරීම තුළින් රජයට රුපියල් බිලියන 15.9 ක පාඩුවක් සිදුවී ඇති බවයි.

    මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ විසින්ද පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කර ඇතැයි පෙන්වා දෙන සුනිල් හඳුන්නෙත්ති මහතා රජයට හිතවාදී ව්‍යාපාරිකයින් පිරිසකට සහන සලසාදීම සඳහා මෙලෙස බදු ප්‍රතිශතය අඩු කළ බවද සඳහන් කරනවා.

    මෙම ක්‍රියාවට වගඋත්තරකරුවන් වගකිව යුතුව බවත් ඒ තුළින් ඔවුන් රටේ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

    එමෙන්ම සීනි ආනයන බදු අඩු කිරීම නිසා රජයට සිදු වූ රුපියල් බිලියන 15.9 ක මුදල යළි භාණ්ඩාගාරයට ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් වගඋත්තරකරුවන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයාට නියෝග නිකුත් කරන ලෙසද සුනිල් හඳුන්නෙත්ති මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    ඊට අමතරව මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් කෝටි 50 ක වන්දියක් පෙත්සම්කරුට ගෙවන ලෙස වගඋත්තර කරුවන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ද එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

    Latest News