පනතකට එරෙහි පෙත්සමක තීන්දුව රහසිගතව කථානායකට

අගෝ 30, 2019

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථා පණත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන ලෙස වු ඉල්ලීමේ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රහසිගතව කතානායකවරයා යොමු කෙරේ.

    ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සහ සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත යන මහත්වරු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණ.

    එම පෙත්සම් ප්‍රසන්න ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත්තා. පෙත්සමේ විභාගය අද අවසන් කිරීමෙන් පසුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේ සිය තීරණය කතානායකවරයා වෙත යොමු කරන බවයි.

    යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පළාත් සභා වෙත පැවරී ඇති බලතල නීතිවිරෝධි ලෙස පැහැර ගැනීමක් සිදුවන බව පෙත්සම්කරුවන් කියා සිටිති. දකුණු පළාත තුළ පවතින කෘෂිකාර්මික ඉඩම්, පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ඉඩම් සහ ආගමික සිද්ධස්ථාන ද අත්පත් කර ගැනීමේ අත්තනෝමතික බලතල යෝජිත පනත් කෙටුම්පත තුළ යෝජනා කර තිබෙන බවට ඔවුන් චෝදනා කර තිබේ.

    ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති කීපයකින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි.

    Latest News