සීනි බදු සිදුවීම සම්බන්ධ වාර්තාව ලබන සතියේ

නොවැ 05, 2022

    ආන්දෝලනාත්මක සීනි බදු සිදුවීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සැකසූ වාර්තාව ලබන සතියේ තමන් වෙත ලැබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. 

    අනතුරුව එය පාර්ලිමේන්තුවේ සභාගත කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.  2020 වසරේ රජය සීනි සඳහා අය කළ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝවකට රුපියල් 50 සිට ශත 25 දක්වා රුපියල් 49 ශත 75 කින් අඩු කරනු ලැබුවා.  එහෙත්, එම බදු අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයාට නොලැබුණු බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු ආයතන හා අංශ කිහිපයක් වෙත පැමිණිලි ඉදිරිපත් කෙරුණා.

    2020 ඔක්තෝබර් වන විට සීනි කිලෝවක සිල්ලර මිල පැවතියේ රුපියල් 130 කට ආසන්න අගයකයි.  අදාළ බද්ද පහත හෙළීම සිදු වූයේ 2020 ඔක්තෝබර් 13 වැනි දිනයි.  ඒ වන විටත් සීනි ආනයනකරුවන් සතුව ආනයනික සීනි මෙට්‍රික් ටොන් 90,000ක් පමණ ගබඩා කර තිබුණා.   බදු පහත හෙළුවද සීනි මිල අඩු කළ නොහැකි බව ප්‍රකාශ කිරීමෙන් පසු, එම වසරේ ඔක්තෝබර් 27 වැනිදා සීනි කිලෝවක් මත පනවා තිබූ ආදායම් බද්ද රුපියල් 40 ක් දක්වා ඉහළ නැංවූවා.   

    2020 නොවැම්බර් 13 වැනිදා දක්වා සංශෝධිත බදු බලාත්මක කිරීමට නොහැකි වීම නිසා, රජයට රුපියල් බිලියන ගණනකින් පාඩුවක් සිදුවූ බවටයි චෝදනා එල්ල වුණේ.  විගණකාධිපති පරීක්ෂණ අනුව සැකසූ වාර්තාවේ රජයට මේ සිද්ධිය නිසා රුපියල් කෝටි 1670 ක අහිමිවීමක් සිදුව ඇති බව හෙළි වුණා.  අහිමි වී ගිය එම මුදල රජයට ආපසු අය කර ගැනීම සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස එම වාර්තාවේ දැක්වෙන බවද අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළා.

    Latest News