එජාපයේ 58 දෙනෙකු මන්ත්‍රීධුරවලින් නෙරපීමට එරෙහි තහනම් නියෝගය දීර්ඝ කෙරෙයි

මාර් 09, 2021

    එක්සත් ජාතික පක්ෂය විසින් එම පක්ෂයේ සභිකයින් 58 දෙනෙගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ගෙන ඇති තීරණයට අනුව ඔවුන්ගේ පළාත් පාලන මන්ත්‍රි ධුර අහිමි කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය අප්‍රේල් මස 28 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කළා.

    මෙම පෙත්සම් අද අභියාචනාධිකරණයේ සලකා බැලූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතා මතු කරමින් මෙම පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියා.

    එම මූලික විරෝධතාවලට අදාල ලිඛිත දේශන අද දින සිට සති දෙකක් තුළ ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශ්වයට නියම කළා.

    ඉන් අනතුරුව මූලික විරෝධතා පිළිබඳ නියෝගය අප්‍රේල් මස 28 වන දා ප්‍රකාශයට පත් කරන බවයි විනිසුරු මඩුල්ල නියම කළේ.

    එදින තෙක් දැනට නිකුත් කර තිබෙන තහනම් නියෝගය දීර්ඝ කරන බවද විනිසුරු මඩුල්ල සඳහන් කළා.

    පෙත්සම්කාර පළාත් පාලන මන්ත්‍රීවරු සඳහන් කර සිටින්නේ තමන් සමගි ජනබලවේගය පක්ෂයට සහාය පළ කිරීමෙන් පසුව සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළ බවයි.

    පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට පෙර තමන්ට සාධාරණ විනය පරීක්ෂණයක් නොලැබුණු බවත් සිය පක්ෂ සාමාජිකත්වය නෙරපීමේ ක්‍රියාවලිය නීතියට පටහැනි බවත් පෙත්සම්කරුවන් පවසනවා.

    එක්සත් ජාතික පක්ෂය විසින් ගනු ලැබූ එම තීරණයට අනුව යමින් සිය මන්ත්‍රී ධුර අහිමි කිරිම වළක්වාලීමේ නියෝගයක අදාළ තේරීම් භාර නිලධාරීන් වෙත නිකුත් කරන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

    Latest News