තිදෙනෙකුගේ දිවි බේරූ නයාරු කලපුවේ යුද්ධ හමුදා ගලවාගැනීමේ මෙහෙයුම

මාර් 09, 2021

    නයාරු කලපුවට පෙරළුණු කැබ් රථයක සිට පුද්ගලයින් තිදෙනෙකු බේරා ගැනීමට යුද්ධ හමුදා භට පිරිස් කටයුතු කළහ.

    59වන පාබල සේනාංක මූලස්ථානයට අයත් 593 පාබල සේනා මූලස්ථාන බලප්‍රදේශයේ 19 වැනි ගැමුණු හේවා බලඇණියට අයත් සෙබළුන් තිදෙනෙකු විසින් මෙම පිරිසගේ දිවි ගලවාගෙන තිබේ.

    කෝකිලායි සිට මුලතිව් දක්වා පුද්ලගයින් තිදෙනෙකු සමඟ ගමන් කරමින් තිබූ මහේන්ද්‍රා වර්ගයේ කැබ්රථයක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන නයාරු කලපුවට පෙරළී මෙම හදිසි අනතුර සිදුව ඇත.

    එම ස්ථානයේ රාජකාරි කරමින් සිටි 19වන ගැමුණු හේවා බලකායේ කෝප්‍රල් එම්.ජී.එල්.සී. සෝමරත්න, ලාන්ස් කෝප්‍රල් එන්.ඒ.ඒ.අයි. සංජය කුමාර, ලාන්ස් කෝප්‍රලි පීඒඩබ් රංජන් යන සෙබළුන් වහාම ක්‍රියාත්මක වී කැබ්රථය තුළ සිරවී සිටි තිදෙනා දැඩි පරිශ්‍රමයකින් ඉන් ඉවතට ගෙන ඇත. ඉන් පසුව ඔවුන් තිදෙනා වැඩිදුර ප්‍රථිකාර සඳහා මාන්චෝල දිසා රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.

    කලපුවට පෙරළී තිබූ කැබ් රථය 19 වැනි ගැමුණු හේවා බලඇණියට අයත් භටපිරිස් විසින් ගොඩට ගැනීමට කටයුතු කළහ.

    armyrescue_01.jpg

    මෙලෙස තම දිවි දෙවැනි කොට අන් අයෙකුගේ දිවි බේරා ගැනීම වෙනුවෙන් කටයුතු කළ යුද්ධ හමුදා සෙබළුන් තිදෙනා පිළිබඳ තමා ආඩම්බර වන බවත් මොවුන් යුද්ධ හමුදා සෙබළුන් සතු පරාර්ථකාමී ගුණාංගය ලොවට විදහා දක්වමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ලොව මානුෂීයම හමුදාව බවට යළිත් පසක් කිරීමට කටයුතු කිරීම පිළිබඳ තම ප්‍රශංසාව පුද කරන බවත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 09 මාර්තු 2021 16:49

    Latest News