දිවයිනේ සියලු පාසල් සඳුදා සිට ඇරඹේ

මාර් 09, 2021

    සෞඛ්‍ය නිර්දේශවලින් අනතුරුව දිවයිනේ සියලු පාසල් ලබන සඳුදා (15) විවෘත කිරීමට නියමිතයි. ඒ අනූව බස්නාහිර පළාතේ පාසල් ද විවෘත කෙරෙනු ඇති බවයි අධ්‍යාපන ඇමැති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසන්නේ.

    දරුවන්ගේ ජීවිතයේ වටිනා කාලය අපතේ නොයවා තම කටයුතු ඉදිරියට කර ගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සහ අධ්‍යයන වටපිටාව සකසා දීමට අධ්‍යාපන අමාත්‍යංශය කැපවී සිටින බවද, ඒ නිසාම ලබන සඳුදා දිවයිනේ සියලු ම පාසල් විවෘත කිරීමට සූදානම් බවද ඇමැතිවරයා කියයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය හමුවට ඊයේ (8) මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මේ බව පැවසීය. එම මාධ්‍ය හමුව බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී පැවැත්විණි.

    'දිවයිනේ සියලු ම පාසල් ආරම්භ කිරීම සඳහා මේ වනවිට සැලසුම් සකස් කර අවසන්. නමුත් බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධව මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ අපි ඉල්ලලයි තිබෙන්නේ. සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානයෙන් පසුව දින දෙකක් වැනි කාලයක් තුළ එම නිර්දේශ ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. ඒ අනුව කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල පාසල් විවෘත කිරීමට ත් අපි සූදානම්. මේ වනවිට ඒ සම්බන්ධ ව සෞඛ්‍ය අධ්‍යක්ෂ ‍ජනරාල්තුමාගේ අනුමැතිය අපි ඉල්ලා තිබෙනවා. දවස් 02ක් ඇතුළත එම තීරණය ලැබෙනු ඇතැයි අප පලාපොරොත්තු වෙනවා' යනුවෙන් ද ඇමැතිවරයා පැවසීය.

    මේ දිනවල පැවැත්වෙන අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට දින 09ක් ඇතුළත ආසාදිත සිසුන් 56 දෙනෙක් පෙනී සිටි බවත්, එම දරුවන් විශේෂ මධ්‍යස්ථාවවලට යොමු කිරීමට හැකි වූ බවත් ඇමැතිවරයාවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    එවැනි මධ්‍යස්ථාන 40ක් රට පුරා පිහිටුවූ බවත්, සෑම විභාග මධ්‍යස්ථානයකම විශේෂ පන්ති කාමරයක් සූදානම් කර තිබූ බවත් ඇමැතිවරයා පැවසීය. නිරෝධායනයට ලක්වූ සිසුන් 321ක් විභාගයට පෙනී සිටි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    විභාගයේ ප්‍රතිඵල ජූනි මාසයේ ලබා දීමටත්, අ.පො.ස උසස් පෙළ පන්ති ජූලි මාසයේ අරම්භ කිරීමටත් කටයුතු කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    Latest News