පරිසරය සුරකීමේ ත්‍රිවිධ හමුදා මෙහෙයුම නතර නොකෙරේ (විඩියෝ)

ජන 30, 2019
  • නීති විරෝධි ක්‍රියාකාරකම්වලින් පරිසරය ආරක්ෂා කරගැනීමට ක්‍රියාත්මක ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය එක්ව සිදුකරන මෙහෙයුම්, කිසිසේත් අත්හිටුවන්නේ නැතැයි, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි.

    ත්‍රිකුණාමලය, කින්නියා කන්දල්කාඩු ප්‍රදේශයේ දී ඊයේ ඇතිවූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කෙරිණ. මහවැලි ගඟේ අනවසරයෙන් වැලි ගොඩ දමමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා භට කණ්ඩායමක් එහි ගිය අවස්ථාවේ මේ නොසන්සුන්තාව හටගෙන තිබේ.

    ජාවාරම්කරුවන් හා ප්‍රදේශවාසීන් සිදු කළ පහරදීම හේතුවෙන්, නාවික හමුදාවේ 12 දෙනෙකු තුවාල ලැබූ බවයි පොලිසිය කියා සිටියේ. ඔවුන් ත්‍රිකුණාමලය නාවික හමුදා සහ ශික්‍ෂණ රෝහල්වලට ඇතුළත් කෙරිණ. නොසන්සුන්තාව හමුවේ නාවික හමුදාව අහසට වෙඩි තබා තිබේ.

    එහිදී වැලි ගොඩ දමමින් සිටි තිදෙනෙකු ගඟට පැන පලායාමට උත්සාහ දරා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. එහිදී දියේ ගිලී මියගිය අයෙකුගේ සිරුර ඊයේ පස්වරුවේ සොයා ගැණින.

    තවත් අයෙකුගේ දිවි ගලවා ගත් අතර, අනෙක් තැනැත්තාගේ මළ සිරුර අද දහවල් පොලිස් ජිවිතාරක්‍ෂක නිලධාරීන් හා නාවික හමුදාව එක්ව සොයා ගෙන ඇත. සිද්ධියෙන් මියගියේ, 22 හැවිරිදි මොහොමඩ් රෂික් සහ 19 හැවිරිදි මොහොමඩ් පාරිස් යන අයයි.

    එම ජාවාරම සිදුකර ඇත්තේ, භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය විසින් අධිසංවේදී හා ආරක්‍ෂිත කලාපයක් ලෙස නම් කරනු ලැබූ මහවැලි ගං ඉවුරේ කොටසකයි. වැලිගොඩ දැමීම නොකඩවා සිදුවුයේ නම්, කින්නියා-මුතූර් මාර්ගය සහ උප්පාරු පාලම, කීරතිව් පාලම, ගොංගේ පාලම සහ වෙල්ලනාවල් පාලම යන ස්ථාන අවදානමට ලක්වන බව, අද පැවති මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කෙරිණ.

    Last modified on බදාදා, 30 ජනවාරි 2019 20:33

    Latest News