කින්නියා මහා පරිමාණ වැලි ජාවාරමක්

පෙබ 20, 2019

    ත්‍රිකුණාමලය පෙරිය කින්නියා තිප්පංසෙට්ටි හි අනවසරයෙන් වැලි ගොඩ දමා තිබූ ස්ථානයක් වටලා වැලි කියුබ් 15,000ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

    නාවික හමුදාවට ලැබුණු තොරතුරක් අනුව නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මෙම වැටලීම සිදුකර ඇත. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සිදු කෙරෙන අනවසර වැලි ජාවාරම් හේතුවෙන් නිකුත් කර තිබූ සියලුම වැලි ගොඩ දැමීමේ බලපත්‍ර මේ මස 28 වැනිදා තෙක් තාවකාලිකව අත්හිටුවා තිබේ. එසේ වුවද, අනවසර වැලි ගොඩදැමීම් සිදුවන බව නාවික හමුදාව පවසයි. අද වැටලීම් සිදුකර අත්අඩංගුවට‍ ගනු ලැබූ වැලි තොගය එක් පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට සතුවන්නක් ද යන්න සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදු කෙරේ.

     පසුගිය ජනවාරි 29 දින කින්නියා, කන්දකාඩු ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිතව වැලි ජාවාරමේ නිරත පිරිස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමකදි නාවික හමුදාවට ‍එරෙහිව වැලි ජාවාරම්කරුවන් ඇතුළුව ප්‍රදේශයේ ජනතාව විසින් සංවිධානාත්මකව විරෝධයක් පැවැත්වීය. එහිදී පුද්ගලයින් තිදෙනෙකු මහවැලි ගඟට පැන පලායාමත් සමඟ ප්‍රදේශයේ ජනතාව නොසන්සුන්වි වැටලීමට පැමිණි නාවික හමුදා භටයින් රඳවා තබාගත්හ.

    භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශයේ සභාපතිතුමාගේ සහ ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව මහවැලි ගඟ ආශ්‍රිතව සිදුවන නීති විරෝධී වැලි ජාවාරම් සහ දුෂණ මැඩපැවැත්විමට නාවික හමුදාවේ සහයෝගය ඇතිව කටයුතු කිරීමට සැලසුම් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ අනුව පසුගිය දිනවල කන්දකාඩු ප්‍රදේශය ආශ්‍රිතව නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලද මෙහෙයුම්වලදි වැලි ජාවරම්කරුවන් රැසක් අත්අඩංගුවට ගෙන නීතියේ රැහනට හසු කර ගැනීමට නාවික හමුදාව සමත්විය.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 පෙබරවාරි 2019 09:50

    Latest News