නාවික හමුදාව මගින් ආපදාවට පත් ධීවර යාත්‍රාවක් නිරුපද්‍රිතව බේරාගැනේ

පෙබ 27, 2021

    කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දියාවට අයත් සාගර කලාපය වෙත ගසාගෙන ගොස් තිබූ ඩිංගි යාත්‍රාවක් නිරුපද්‍රිතව මුදවාගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව අද (27) කටයුතු කර ඇත.

    මන්නාරම සවුත්බාර් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් කාර්මික දෝෂයක් හේතුවෙන් ඉන්දියාවට අයත් සාගර කලාපය වෙත ගසාගෙන ගොස් තිබූ මේ ඩිංගි යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් දෙදෙනා කොළඹ නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානයේ මැදිහත්වීම මත නිරුපද්‍රිතව මුදවාගෙන තිබේ.

    2021 පෙබරවාරි මස 23 වන දින මන්නාරම සවුත්බාර් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ඩිංගි යාත්‍රාවක් එහි සිටි ධීවරයින් දෙදෙනා සමඟ අතුරුදන් ව ඇති බැවින් එම යාත්‍රාව සොයා ගැනීමට සහය දක්වන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදාව දැනුවත් කරන ලදි.

    ඒ අනුව, වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව අදාල ඩිංගි යාත්‍රාව සොයා එම යාත්‍රාව ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය මුහුදු ප්‍රදේශයේ සොදිසි මෙහෙයුමක් ආරම්භ කළ අතර, කොළඹ නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානය මගින් ‍මෙම අතුරුදන් වූ යාත්‍රාව පිළිබඳව ඉන්දියාවේ චෙන්නායි පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානය ද දැනුවත් කිරීමට කටයුතු කරන ලදි. එහිදී අදාල යාත්‍රාව අන්තර්ජාතික මුහුදු සීමාවෙන් ඉන්දියාවට අයත් සාගර කළාපය වෙත ගසා ගෙන ගොස් තිබිය දී ඉන්දියානු වෙරළාරක්‍ෂක නෞකාවක් මගින් සොයා ගන්නා ලද බව ‍ඉන්දියාවේ චෙන්නායි පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානය විසින් කොළඹ නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් මධ්‍යස්ථානය දැනුවත් කරන ලදී. පසුව එම ඩිංගි යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් අන්තර්ජාතික මුහුදු සීමාවට රැගෙන ඒමට ඉන්දියානු වෙරළාරක්‍ෂක නෞකාවක් කටයුතු කළ අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සුරනිමල නෞකාව විසින් එම ඩිංගි යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් දෙදෙනා අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දියානු වෙරළාරක්‍ෂක නෞකාව වෙතින් භාරගෙන ගොඩබිම වෙත ආරක්‍ෂිතව ගෙන ඒමට අද දින කටයුතු කෙරිණි.

    Last modified on සෙනසුරාදා, 27 පෙබරවාරි 2021 16:03

    Latest News