හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ ඇතුළු 14කට එරෙහි නඩුව ජුලි මස 2දා

පෙබ 19, 2021

    හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු විත්තිකරුවන් 14 දෙනකුට එරෙහි නඩුව ජුලි මස 02 වනදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා.

    2008 සහ 2009 වසර අතර කාල සීමාවේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි චෝදනා එල්ලකරමින් නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනු කර තිබුනා.

    මෙම නඩුව අද චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එම අවස්ථාවේ එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී. කේ. පී. දසනායක මහතා ඇතුළු විත්තිකරුවන් 13 දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියා.

    එහෙත් නඩුවේ 14 වන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

    නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ වසන්ත පෙරේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමන්ව මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවත් එය විභාග කළ අභියාචනාධිකරණය මෙම නඩුව විභාග කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවත් සඳහන් කළා.

    ඒ අනුව කරන්නාගොඩ මහතා තවදුරටත් විත්තිකරුවකු ලෙස තබා ගන්නවාද? යන්න තීරණය කිරීම සඳහා දීර්ඝ දිනයක් ලබා දෙන ලෙසද රජයේ නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

    එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නඩුව නැවත ජුලි මස 02 වනදා කැඳවීමට නියම කළා.

    Latest News