පාර්ලිමේන්තු ගැටුමට;මන්ත්‍රී 59කට චෝදනා (වීඩියෝ)

ජන 26, 2019

    පාර්ලිමේන්තු තුළ ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් 59 දෙනෙකුට චෝදනා එල්ල වී තිබේ.

    ඒ සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටු වාර්තාවේ කරුණු උපුටා දක්වන බීබීසී සිංහල සේවයේ මේ පිළිබඳ තොරතුරු ඇතුළත්. පසුගිය නොවැම්බර් මස 14,15 සහ 16 යන දිනවල පාර්ලිමේන්තුවේ ඇතිවූ අදාළ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් කමිටුවක් මගින් විමර්ශනයක් සිදු කෙරිණ. ඒ සඳහා කතානායක කරූ ජයසූරිය මහතා විසින් නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුව පත්කළා. එහි වාර්තාව පසුගිය 22 වැනි දින කතානායකවරයාට බාරදුන්නා. එම කරුණු බීබීසී වාර්තාවේ ඇතුළත්. මන්ත්‍රීවරුන් 59 දෙනෙකු පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ වගන්තිවලට එරෙහිව කටයුතු කර ඇති බව, වාර්තාවේ සඳහන්.

    එක්සත් ජානතා සන්ධානයේ මන්ත්‍රීවරුන් 54 දෙනෙකු, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 04 දෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකු චෝදනා ලැබූ මන්ත්‍රීවරුන් අතර සිටින බව ද සඳහන් වනවා. අදාළ වාර්තාවට අනූව වැඩිම වාරයක් නම සඳහන්ව ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාගේයි. එම චෝදනා ගණන 12ක්. ඊට අමතරව ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පද්ම උදයශාන්ත යන මන්ත්‍රීවරුන් දෙදෙනාට ද වැඩි වාර සංඛ්‍යාවක් චෝදනා එල්ල වී තිබෙනවා.

    දිලුම් අමුණුගම, ආනන්දු අලුත්ගමගේ, ඉන්දික අනුරුද්ධ, මහින්දානන්ද අලුත්ගමගේ, පාලිත තෙවරප්පෙරුම, රංජන් රාමනායක, අරුන්දික ප්‍රනාන්දු, නිරෝෂන් ප්‍රේමරත්න ඇතුළු මන්ත්‍රීවරුන් 59 දෙනෙකුගේ නම් අදාළ වාර්තාවේ සඳහන්. අදාළ දිනවල සිදුවූ දේපළ හානිය රුපියල් තුන්ලක්ෂ 25,000ක් ලෙස, තක්සේරු දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කර තිබේ. මෙම මන්ත්‍රීවරුන්ට නිසි ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය බව ද එම කමිටුව වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

     

    Last modified on සෙනසුරාදා, 26 ජනවාරි 2019 21:32

    Latest News