කොවිඩ් එන්නත් රැගත් ගුවන් යානය ශ්‍රී ලංකාවට (වීඩියෝ)

ජන 28, 2021
  • කොවිඩ් මර්දන පළමු එන්නත් තොගය අද ශ්‍රී ලංකාවට ලැබිණ. එන්නත් රැගෙන එනු ලැබුවේ ඉන්දීය ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින්.

    එම ගුවන් යානය අද පෙරවරු 11.30ට දිවයිනට ළගා විය. එන්නත් තොගය නිල වශයෙන් බාරගනු ලැබුවේ ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් කළ ඉල්ලීම අනූව, එන්නත් ශ්‍රී ලංකාවට පිරිනමා තිබේ. මාත්‍රා ලක්ෂ 5කින් යුත් පළමු එන්නත් තොගය ජනාධිපතිතුමා වෙත ගුවන් තොටුපොළේ දී නිල වශයෙන් බාර දෙනු ලැබුවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින්.

    එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිදයාලය සොයා ගත් ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත මුම්බායිහි පිහිටි සෙරම් ඉන්ස්ටිටියුට් ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබයි. ගුවන් යානයේ විශේෂ ශීතාගාරයක් තුළ ගබඩා කර රැගෙන ආ එන්නත් තොගයේ බර කිලෝග්‍රෑම් 123ක්.

    එන්නත් තොගය ගුවන් තොටුපොළේ ගුවන් ගැල් ගම්මානයේ ඇති ශීතාගාර තුළ ගබඩා කර ශීතාගාර සහිත වාහනවලින් දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි බෙදා හැරීමට සැලසුම් කර තිබේ. එන්නත් ගබඩා කරන්නේ සෙල්සියස් අංශක 2ත් 8ත් අතර උෂ්ණත්වයකයි. බස්නාහිර පළාතේ රෝහල් 6ක දී හෙට එන්නත් දීම ආරම්භ කෙරේ.

    කොවිඩ් මර්දනය සඳහා ඉදිරි පෙළ ක්‍රියා කරන එක් ලක්ෂ පනස් දහසක් පමණ වූ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක් ලක්ෂ විසි දහසක් පමණ වූ ත්‍රිවිධ හමුදාව පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල පිරිස් වෙ පළමුව එන්නත් ලබාදීමටයි,සැලසුම් කර ඇත්තේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් චීන රජය ද එන්නත් ලක්ෂ 3ක ප්‍රමාණයක් මෙරටට පිරිනැමීමට නියමිත බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ කොවිඩ් එන්නත ලබා ගැනීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග මහතා පවසයි.

    ඕනෑම පුද්ග‍ලයෙක්ට ස්ව කැමැත්තෙන් එන්නත්කරණයට යොමු විය හැකි අතර අකමැති අයට ඉන් වැළකී සිටීමට හැකි බවද ලලිත් වීරතුංග මහතා කියා සිටියි. පළමු එන්නත් තොගය බාර ගැනීමේ අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග,රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ,මහාචාර්ය චන්න ජයසුමන, ඩී.වී.චානක,ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ, සෞඛ්‍ය ලේකම් සංජීව මුණසිංහ, යුද හමුදාපති ජනරල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු සහ සෞඛය ප්‍රධානීන් පිරිසක් එක්ය සිටියේය.

    IMG 20210128 WA0049

    IMG 20210128 WA0053

    IMG 20210128 WA0052

    Last modified on බ්‍රහස්පතින්දා, 28 ජනවාරි 2021 21:57

    Latest News