යුරෝ සන් නැවෙන් මුහුදු පද්ධතියට හානිවී ඇත්නම් අලාභය අයකරගැනීමට සූදානම්

ජන 24, 2021

    ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී ඊයේ අනතුරට ලක්වූ යුරෝ සන් නෞකාවෙන් මෙරට මුහුදු පද්ධතියට හානියක් සිදුවී ඇත්නම් එහි අලාභය අදාළ පාර්ශවයන්ගෙන් අයකර ගැනීමට කටයුතු කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

    ඒ පිළිබඳව සොයා බැලීම සඳහා 5 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මේ වන විට නෞකාව අනතුරට ලක්ව ඇති ප්‍රදේශයට පිටත් කර යැවීමට පියවර ගෙන ඇති බවයි එම අධිකාරිය පවසන්නේ.

    අබුඩාබි සිට ත්‍රිකුණාමලය වරායට සිමෙන්ති අමුද්‍රව්‍ය රැගෙන එමින් තිබිය දී මෙම නෞකාව අනතුරට ලක්වුණේ, ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් පිහිටි කුඩා රාවණා කොරල්පරයේ සිරවීමෙන්.

    ගොඩබිමේ සිට නාවික සැතපුම් 5.5ක දුරින් නෞකාව අනතුරට ලක්ව තිබේ. නෞකාව තුළ සිමෙන්ති අමුද්‍රව්‍ය මෙට්‍රික් ටොන් තිස්තුන් දහසකට අධික ප්‍රමාණයක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 7250කට අධික ප්‍රමාණයක් ගබඩා කර ඇති බවයි, වාර්තා වන්නේ.

    නෞකාව,අනතුරට ලක්වීම වාර්තා වීමත් සමග කිමිදුම් කණ්ඩායම්,නිරීක්ෂණ හා ආපදා කළමනාකරණ නෞකා හා යාත්‍රා කඩිනමින් එම ස්ථානයට පිටත් කර යැවීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවේ සහය ද හිමි විය.

    සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ, යූරෝ සන් නෞකාවෙන් මෙරට මුහුදු පද්ධතියට මේ දක්වා හානියක් සිදුව ඇති බවට වාර්තා වී නොමැති බවයි.

    Last modified on ඉරිදා, 24 ජනවාරි 2021 12:29

    Latest News