සේනා දළඹු මර්දනයට ජෛව පාලන ක්‍රම

ජන 25, 2019

    සේනා දළඹු මර්දනයට ප්‍රබල කෘෂි රසායනික වෙනුවට ජෛව පාලන ක්‍රම වඩාත් යෝග්‍ය වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පෙන්වා දෙනවා.

    ඒ සම්බන්ධයෙන් පත් කෙරුණු විශේෂ නිලධාරී මර්ජොන් ෆෙඩ්රික්ස් පවසන්නේ, ඊට අවශ්‍ය සහය ලබාදීමට ආහාර හා කෘෂිකර්ම සංවිධානය ආරම්භ කර ඇති බවයි. බැංකොක් නගරයේ සිට ස්කයිප් තාක්‍ෂණය ඔස්සේ රූපවාහිනිය සමඟ විශේෂ සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ෆෙඩ්රික්ස් අද මේ බව කියා සිටියා.

    “සේනා දළඹුවන් වසර ගණනාවකට පෙර මධ්‍යම අමෙරිකානු රටවල වගාබිම්වලදී හමුවී තිබෙනවා. ගොවීන් එම දළඹුවන් පාලන කර ඇත්තේ ජෛව ක්‍රම මගින්. 2016 දී නයිජිරියාවෙන් සේනා දළඹු කාණ්ඩයට අයත් ජිව් ප්‍රභේද 4ක් සොයා ගැනුණා. ඔවුන් අප්‍රිකාවේ තවත් රටවල් 40කට ව්‍යාප්තවීමට ගතවුයේ ඉතාමත්ම කෙටි කාලයක්.

    එහිදී දළඹුවන් කිලෝ මිටර 100 ගණනක් සුළඟේ ගමන් කර තිබෙනවා. සේනා දළඹුවන් මුල්වරට ඉන්දියාවෙන් හමුවුයේ පසුගිය වසරේ ජුලි මාසයේ. පසුව ඔවුන් දකුණු ආසියාවේ රටවල් කිහිපයකටම ව්‍යාප්ත වුණා. ශ්‍රී ලංකාව ද ඉන් එකක්. දළඹුවන් සම්පුර්ණයෙන්ම නිවාරණය කිරීමට නොහැකි වුවත් එය පාලනය කරන්න පුළුවන්.

    ඒ සඳහා වැදගත් වන්නේ නිවැරදි ක්‍රම හඳුනාගැනීම, නිතර වගාව පරීක්‍ෂා කිරීම සහ කලබල නොවී සිටීමයි. නිවැරදි තොරතුරු සියලු ස්ථර ඔස්සේ ගොවීන් වෙත ගලා යාමට සැලැස්වීම ද මෙහිදී වැදගත් වනවා. අපගේ අත්දැකීම ඇසුරෙන් කිව හැක්කේ දළඹුවා පාලනය කළ හැකි තවත් ජීවින් ශ්‍රී ලංකාවේ මෙන්ම, අනෙකුත් ආසියානු රටවලත් සිටින බවයි. දළඹුවන් මර්දනය සඳහා ප්‍රබල කෘමිනාශක යොදා ගැනීම අප අනුමත කරන්නේ නැහැ. උවදුර පාලනය කිරීම සඳහා කාලයක් ගතවීම වළක්වන්න බැහැ.

    ඒ සඳහා පූර්ණ සහය ලබාදීමට එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඉදිරිපත් වී සිටිනවා.

    Latest News